ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

සිහින...සැතකින් සිඳින්නට පෙර.....!!!




     මංචිලාට සති කිහිපයකට කලින් ඉගෙන ගන්න යෙදිල තිබුණු විෂයය තමයි ''ප්‍රසව වේදය''..එහෙමත් නැත්නම් OBSTETRICS (කෙටියෙන් නම්..Obs)....කියන්නෙ...cycle එක (අධ්‍යයන කාලය) තිබුණු සති දෙකම කම්මැලි කමක් නැතුව ඉගෙන ගන්න ආස හිතෙන පාඩමක් තමයි Obs. කියන්නෙ...ඒ කාලෙදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඇරුණහම ඇත්තෙන්ම අමුතුම අත්දැකීම් ගොඩකුත්....ඉතාම සංවේදී සිදුවීම් කීපයක මතකයනුත් ජීවිතේට එකතු වුණා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි.. 


     ඒ ගෙවුණු දවස් 12දි ලැබුණු ජීවිතෙ වටිනම අත්දැකීම් ගැන නම් බ්ලොග් එකේ ලියන්න මංචි කලින්ම තීරණය කරල තිබුණ වුණත්...බෙදාගන්නට කොහොමටවත් බලාපොරොත්තුවක් නොතිබුණු අත්දැකීමක් ගැනත් ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියල මංචිට හිතුණේ මංචිටත් අයියණ්ඩියෙක් වෙන..බ්ලොග් අවකාශයෙ ඉන්න ඔයාලගෙන් ගොඩක් අය හොඳින්ම වගේ අඳුනන ''වර්ණ'' වලට පණ පොවන දිනේශ් අයියගෙ පෝස්ටුවක් දැකලයි....obs අන්තිම සතියෙදි දැනුණු කම්පනය ඒ පෝස්ටුව කියවලා ආපහු අලුත් වුණු නිසයි මංචිත් මේ ගැන ලියන්න හිතුවේ....


     දැනටමත් ඔයාලා ඒ පෝස්ට් එක කියවලා තියෙනවනම් දන්නවත් ඇතිනෙ...දිනේශ් අයියා එයාගෙ කවිපද අතර දිග ඇරල තිබ්බෙ මොනා ගැනද කියලා..ඉපදුණාම තාත්තය කියල පෙන්නන්න කෙනෙක් නැති නිසාම අම්මෙක් තමන්ගෙ දරු ගැබ විනාශ කරලා දාන්න යද්දි ඒ දරුවට දැනෙන හැඟීම්....ඇත්තෙන්ම හරිම වේදනාත්මකයි...


     ඉතින් කොහොමද මේ සිද්ධිය මංචිගෙ Obs cycle එකේ අත්දැකීම් එක්ක සම්බන්ධ වෙන්නෙ....???


     මාතෘ සායන විද්‍යාව යටතෙ යෙදෙන්නෙ ගර්භනී සමයෙ ඉන්න මවක් පිළිසිඳ ගත්ත දවසෙ ඉඳල..දරුවා බිහි කරන දවස වෙනකල් අම්මගෙත් දරුවගෙත් යහපත් පැවැත්ම ආරක්ශා කරගන්න වෛද්‍යවරයෙක් විදිහට මොනාද කරන්න ඕනෙ කියන කාරණා-කාරණායි....එතකොට දරුවෙක්ගෙ ජීවිතේ ආරක්ශා කරන එක වගේම නැති කරලා දාන එකත් ඉගෙනගන්න වෙන්නෙ ඒ යටතෙමද...???


     අවාසනාවකට වගේ...උත්තරේ ''ඔව්'' කියන එකයි...!!


     ලංකාවෙනම් ගබ්සාව නීතියෙන්ම තහනම් වුණාට...මකුළු පැංචි ඉගෙන ගන්න මේ රටේ...ගබ්සාව කියන්නෙ නීතියෙන් සම්මතයි කියල පිළිගත්ත දෙයක්....ඕනම හේතුවක් යටතේ 'ගබ්සාව' නීතිගත කරපු මුල්ම රට රුසියාවලු....ඒත් පස්සෙ කාලෙකදි පොඩි හරි වාසනාවකට ඒ නීතිය ''කළලයේ වයස සති 12ට (මාස තුනකට) වඩා අඩුනම් පමණක්'' කියන සීමාවෙන් කප්පාදු කරන්න කටයුතු කරල තියෙනවා...


     ඒ වුණත් කාරණා කීපයක් යටතේ...ඒ කියන්නෙ...

  1. ගර්භනීභාවය දිගටම පවත්වාගැනීම නිසා මවගේ ජීවිතයට තර්ජනයක් එල්ල වේ නම්...
  2. දරුවා බිහි වුණත් ශාරීරික හෝ මානසික සංකූලතාවයන් නිසා සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න බැරි බව වෛද්‍යවිද්‍යාත්මකව තහවුරු වේ නම්...
  3. ලිංගික අතවරයකට ලක්වීම නිසා සිදුවුණු අනවශ්‍ය ගැබ්ගැනීමක් නම්... හෝ...
  4. උපත්පාලන ක්‍රම භාවිතයක හෝ සැත්කමක අසාර්ථක භාවයක් නිසා සිදු වුණු ගැබ් ගැනීමක්...(ඔප්පු කළ හැකි සාධක සහිතව)

     කියන නිර්දේශ යටතේ ගර්භනී සමයේ ඕනම අවස්ථාවකදි ගබ්සාවක් ඉල්ලාසිටින්න රුසියානු ජාතික මවකට අවසර තියෙනවා...ඒ වගේම ඒ සඳහා වුවමණා කරන්නෙ ''මවගේ කැමැත්ත'' පමණයි....!! (පියාගෙ කැමැත්ත වුවමණා වෙන්නෙ නෑ)


     ඉතින් අපි මොන වගේ අදහසක්..මතයක් දැරුව වුණත්..ඒ ගැන ඉගෙනගන්න..දැනුවත් වෙන්න..මංචිලටත් ඉබේටම සිද්ධ වුණා...


     මේ ගැන පොතපතින් කියවද්දි පවා දැනෙන්නෙ ලොකු දුකක් තමයි..ඒ වුණත් සජීවී ගබ්සා සැත්කමක් දකින්න ලැබෙන එක නම් ඊට වඩා හරිම වෙනස් දුක්මුසු අත්දැකීමක්.....අවංකවම කිව්වොත් ලොකුම ලොකු කම්පනයක්... :((


     ඒ අතින් නම් අපි සෑහෙන පවක් කරලා ඇති...ජීවත් වෙන්න පෙරුම්පුරන ජීවිතයක් නැති කරන හැටි දකින්න තරම්... 


     ශල්‍යකර්මයේ බලාගෙන ඉන්න අමාරුම තැන තමයි...විවිධාකාර සැත්කම් උපකරණ අම්මගෙ යෝනී මාර්ගය හරහා ගර්භාශයට ඇතුල් කරල ගර්භාශ බිත්තියෙ කොටස් එක්කම කළලය එලියට අරගන්න ක්‍රියාවලිය...


      කළලය එළියට අරගන්නව කිව්වහම ඔයාලට මැවෙනව ඇත්තෙ ෆොසෙප් එකෙ එල්ලිලා චුට්ටන්ම චුට්ටන් බබෙක් එළියට එන හැටිද...???


     අපෝ නෑ...එච්චරවත් සුන්දර මවාගැනීමක් කරන්න කොහෙත්ම ඉඩක් නෑ.....ඒ පුංචි ජීවිතේ එළියට එන්නෙ...අර අඩූ පඬු වල පැටළිලා සම්පූර්ණයෙන්ම ලේ වලින් නෑවුණු පටක කොටස් විදිහටයි...හරියට සතෙක් මස් කරද්දි කෑලි කැඩිලා තැලිලා පොඩි වෙලා ගිය අතුණු බහන් වගෙයි...


     බලන්න මේ රූප දිහා....තමන්ගෙම ලෙයින් මසින් හැදුණු දරුවෙකුට මේ අපරාධය කරන්න...හදවතක් තියෙන....අම්මෙක්ට තාත්තෙක්ට පුළුවන්ද ඇත්තටම..... 



කාසියක් තියල තියෙන්නෙ ප්‍රමාණය ගැන අදහසක් ඇතිකරගන්නයි....

විනාශ වෙලා ගිය බලාපොරොත්තු.....


තවත් එක අහිංසකයෙක්.... :(




     උල් කතුරු....අඬු උපකරණ නපුරු සත්තු වගේ තමන්ගෙ දිහාට ලං වෙද්දි...කොයි මොහොතකදි හරි තමන්ගෙ ජීවිතේට හානියක් වෙයි කියලා බයේ ගැහෙන පුංචිම පුංචි ප්‍රාණියෙක් ගැන එක මොහොතකට හිතන්න...''අනේ මාව මරන්න එපා'' කියලා කෑගහන්න වත් පුලුවන්කමක්වත් නැතුව අසරණ වෙන...අම්මගෙ උණුසුම විඳින්න මග බලාගෙන හිටපු අහිංසක ජීවිතයක් ගැන හිතන්න....ඒත් ඒ අම්මම තාත්තම තමයි තමන්ගෙම සෛලයකින් ගොඩනැගුණු ඒ ජීවිතේ තමන්ට එපා කියලා තීරණය කරන්නෙ...


     ඇත්තෙන්ම මේ දරුණු සිදුවීම බලාගෙන ඉන්දෙද්දි මංචිටනම් ඇස් දෙකට ආපු කඳුලු නවත්තගන්න පුලුවන් වුණේ නෑ...මංචි විතරක් නෙවෙයි...මංචිගෙ යාලුවො හැමෝමත් පුදුම විදිහට කම්පා වුණා මේ සිද්ධිය දැකලා...කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැතුවම....


     වෛද්‍ය විද්‍යාව හදාරන සිසුවියක් විදිහට මංචි වෛද්‍ය විද්‍යාත්මක සාධක නිසා සිදුකරන්න සිද්ධ වෙන ගබ්සාවන්ට දැඩි විරෝධතාවක් නැහැ..ඒ වගේ අවස්ථා වුණත් වලක්වගන්න පුළුවන්නම් හොඳයි තමයි....ගබ්සාවක් අනුමත කරන්න කලින් වෛද්‍යවරයෙක් තමන්ට පුලුවන් හැම දෙයක්ම කරන්නෙ ඒක වලක්වගන්නයි...ඒත් ඇත්තෙන්ම කරන්නම දෙයක් නැත්නම්....ඒ වගේ අවස්ථාවකදි සදාචාරාත්මක පැතිකඩ ගැන සංවේදී වෙනවට වඩා මුල්තැන දෙන්න වෙන්නෙ ජීවවිද්‍යාත්මක හේතු සාධක පිළිබඳව බව අපි හොඳින්ම දන්න දෙයක්...


     ඒ වුණත් සාධාරණ හේතුවක් නොවන හේතුන් නිසා ජීවිතයක් විනාශකරන එකට නම් මහම මහ අපරාධයක්...විශේෂයෙන්ම තරුණ තරුණියො අතින් සිදුවන අත්වැරදීම් නිසා..එහෙමත් නැත්නම් ආර්ථිකමය - භෞතිකමය සාධක මත තමන්ට දරුවෙක් හදන්න කාලෙ සුදුසු නෑ කියලා තීරණය කරන දෙමාපියන් නිසා......එහෙම සරල හේතු නිසා පුංචි ප්‍රාණියෙක්ගෙ ජිවිතේ විනාශ කරන එක මොන තරම් පවුද...??


     අනික් අතට මංචිට හිතාගන්න බැරිම දේ තමයි...මෙච්චරටම දියුණු උපත්පාලන ක්‍රම තියෙන කාලෙක...ජීවිතයක් නැතිකරන්න සිදු වෙන තරමටම දුරදිග යන්න තරම් ගැහැණියක් හෝ පිරිමියෙක් මෝඩ වෙන්නෙ කොහොමද කියන එක...තමන්ට දරුවො වුවමණාද නැද්ද කියලා මුලින්ම තීරණය කරලා...මේ වගේ වැරදීම් අවම කරගන්න හොඳටම ඉඩකඩ තියෙද්දිත් ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් අකාරුණික වෙන්නෙ....අන්තිමේදි ඒ වැරදි වලට දඩූවම් විදින්නෙ අර ඇස් දෙකවත් ඇරපු නැති...කිසිම වරදක් නොකරපු...අහිංසක ජීවිතයක් නේද...??


     හැම ආගමකම පවා 'දරුවන්' දෙමාපියන්ගෙ ජීවිතයට ලැබෙන තෑග්ගක් විදිහටයි සලකන්නෙ.. අම්මගේ කුස තුළ හිටියත්... තාත්තගෙ ජාන කොටසකින් යැපුණත්... ඒ සෛල ගොනුව ඇතුලෙ තියෙන ප්‍රාණය අයිති ඒ දරුවටම මිසක අම්මට තාත්තටවත් නෙවෙයි..


     අම්මෙක්ගෙ කුස ඇතුලෙ ඉන්න පුංචි ප්‍රාණියට ඇත්තෙන්ම අම්මගෙ හැඟීම් දැනෙනවා..පොඩ්ඩක් හිතන්න...තනියම ජීවත් වෙන්න පුලුවන් කම තියෙන අපට පවා...අම්මගෙන් හරි තාත්තගෙන් හරි වචනයක් වත් වැරදිලා කියවුණොත් මොන තරම් දුක හිතෙනවද..??...එයාලට අපිව ඕන නෑ කියල හිතුනොත් මොන තරම් අසරණ කමක් දැනෙයිද..??...ඉතින් එහෙම එකේ...තමන්ගෙ ජීවිතය දරාගෙන ඉන්න අම්මයි තාත්තයි තමන්ව ප්‍රතික්ශේප කරන බව දැනුනහම අර පුංචි ප්‍රාණියට මොන තරම් දුකක්...අසරණකමක් දැනෙනවා ඇතිද...නේද...???


     ඉතින් කවදහරි දවසක...ඔයාලට හරි...ඔයාලගෙ දන්න අඳුනන කෙනෙකුට හරි මේ විදිහෙ තීරණයක් ගන්න සිදු වුණොත්..අනේ පොඩි හරි ඉඩක් තියෙනවනම්.....කරුණාකරලා මේ වගේ අපරාධයක් සිදු නොවන තැනට වැඩ කරන්න උත්සහගන්න..වෛද්‍යවරයෙක් ලඟට ගිහින් තමන්ගෙන් පණ ලබපු ඒ ප්‍රාණියගෙ හදගැස්මට මොහොතක් සවන් දෙන්න.....ජීවිතේ ගැන මොන තරම් හීන..බලාපොරොත්තු ඒ හඩේ පිරිල තියෙනවද කියලා තේරුම්ගන්න.....


     ඉතින් එහෙමනම්.....යන්න කලියෙන් මේ වීඩියෝවත් බලලම යන්න....වචනයෙන් නොකියවෙන බොහෝ දේ....රේඛාවලින් ඇඳෙන හැටි ගැන.....සංවේදී වෙන්න.....!!!









Related Posts Plugin for WordPress, Blogger...