ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මළඉලව් සංවර්ධනේ.....



      නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න එකේ මංචි ගියා අද පාංදරිම්ම... (ඒ කිව්වෙ උදේ නවයට විතර හරියෙ... ) ඉතින් ගියා මංචිගෙ පුංචි කාලෙ ඉඳන් එක බත්පත බෙදන් කාපු යාලුවා හම්බවෙන්න... එකෝමත් එක කාලෙක ඉඳලම වියමන කියපු අයනම් දන්නවත් ඇතිනෙ... මංචිගෙ හොඳම යාලුවා වින්දි...:x හරි ඉතින් මේ ලියන්න යන්නෙ ඒ ගියපු ගමන ගැන නෙවෙයි.. ඒ යන අතර දැක්ක සවුත්තුම සවුත්තු දර්ශනයක් ගැන...o=> 

පශ්චත්තාපය....2




පශ්චත්තාපය (පළමු කොටසට...)
      පෙර දින රාත්‍රිය මුළුල්ලේම මා වෙත හරි හමන් නින්දක් නම් ළඟා වූයේ නොවේ... 

      අතීතය යළි යළිත් නෙත් මානයේ නැගෙමින් මා වෙත දත් විලිස්සමින් සිටියේ මා වෙත නින්දකට ඇති ඉඩ කඩ අහුරුවා දමමිනි...

      ''ඔයාට අසනීපයක්වත්ද හිරුශි..??'' මා නින්දක් නොමැතිව සයනයේ ඒ මේ අත පෙරළෙනු දැනුණු තුෂාරද නින්දෙන් අවදි වන්නට ඇත..

පශ්චාත්තාපය......





      ''උදේ ඉඳලම මුකුත් කාලත් නෑනේ ළමයො... ඇවිත් මේ පාන් පෙත්තක් හරි කන්න...''

      ''තුශාරයි දෝණියි කාලද අම්මෙ නිදාගත්තෙ...??''

      ''ඔව්.. මහන්සියට නිදි කියල හිතපු නිසා පුතා කිව්වා ඔයාට කතාකරන්න එපාය කියල... වෙනදත් ඉස්පිරිතාලෙ හිටන් ඇවිත් නිදාගත්තම ඇහැරවනවට තරහයිනෙ ඔයා...''


      ''හ්ම්ම්.... එහෙනම් අම්මත් කාල නිදාගන්න.. මට කන්න පිරියක් නෑ...'' 

නිහඬ වීම.....




      "ඉතින්...කොහොමද ඔයාට...??"


      දෙසවනට නුහුරුවට ඇසුනද ඒ කටහඬ කවදත් මගේ හදවතට නම් හුරුපුරුදු ස්වරයකි.... එහෙත් දැන් ඒ හඬ මගෙන් කොතරම් නම් ඈත්ව ගොස්ද... මට සුසුමක් හෙළුනේ ඉබේටමය... 


      මේ කතාබහ බොහෝ විට කෙළවර විය හැක්කේ අවසනදී තවත් කාලයකට නොසංසිඳෙන දුකක් මා වෙත ශේෂ කරමින් වග හොඳින්ම දන්නා නමුදු..තවමත් ඔහුගේ කටහඬ ඇසීමෙන්ම මගේ හිත සතුටින් පිරී යන්නේ ඇයි... කතා බහින් තොර මුළු කාලය පුරාවටම හිතේ ගොඩනැගෙන හිර කරවන සුළු ගතිය මොහොතකින් නිවී යන්නේ ඇයි.... මෙවන් නොවිසඳුණු ප්‍රශ්නාර්ථ රැසක්ම හදවතේ තිබුණද...ඒවාට පිළිතුරු සොයන්නට ගොස් තවමත් අතරමංව උන්නේ මමමය....


යස්....අයි ඈම් අ ට්‍රී හග(ර්)..... :D





      මංචිගෙ ගෙදර මංචියි එයාගෙ අම්මියි..තාත්තියි විතරනෙ හිටියෙ.. ඉතින් පුංචි කාලෙ ඉඳලම මංචිට අයියෙක් අක්කෙක් නැති පාලුව හරියට දැණුනා.. යාලුවො එක්ක වුණත් මංචි ගොඩාක් කිට්ටු වුණේ කලාතුරකින්.. සෙල්ලම් කරන්නත් අහල පහල කවුරුවත් පුංචි ළමයි හිටියෙත් නෑ.. :(

      ඉතින් ඉස්සර ඉඳලම මංචි හරි පුදුම විදිහට පරිසරය..ගහ කොල එක්ක එකතු වෙන්න හුරු වුණා..මිදුල පුරාම තිබුණු හැම ගහක් කොලක්ම මංචිගෙ හොද යාලුවො වුණේ ඉබේටමයි.. ඒ අතරින් මිදුල කොනේම තිබ්බ රෝස අරලිය ගහයි... සරුවට වැවිල තිබ්බ ලෙමන් පදූරයි..වැට දිගේ වැවිලා තිබ්බ ගැට පිච්ච පඳුරයි.. හැමදාම උදේට මිදුලට බැස්ස ගමන් සුදු මල් පුරෝගෙන හිනාවෙන ඉද්ද මල් ගහයි තමයි මංචිගෙ කිට්ටුම යාලුවො වුනේ..ඒ ඇරුණාම අරලිය ගහේ හයි කරලා තිබ්බ කුරුලු ලෑල්ලට බත් කන්න එන පුංචි ලේන පැටියෙකුත් හිටියා මංචි එක්ක බොහොම එකතු..:x

      අපේ අරලිය ගහේ අතු බෙදිල තිබ්බෙ බොහොම පහලින්.. ඒ නිසා පුංචිම කාලෙදි වුණත් මංචිට ලේසියෙන්ම නගින්න පුලුවන් කම තිබ්බා.. අතුත් හරි හයියට හැදිලා තිබ්බෙ වැඩි උසකින් නෙවෙයි..දෙබලක් වගේ තිබ්බ අතු උඩ බොහොම පහසුවට ඉඳගෙන ඉන්න අතරෙ මංචි තොරතෝංචියක් නැතුව දවසෙ වෙච්ච දේවල් කියන්නෙ මේ අරලිය ගහටයි.. අම්මටවත් නොකියපු ගොඩක් රහස් අදටත් දන්නෙ මේ අරලිය ගහ තමයි...;)

      වචනයක්වත් ආපස්සට කියන්නෙ නැති වුණත්.. අරලිය ගහ බොහොම ආදරෙන් මංචිගෙ කතා බහ අහගෙන ඉන්න වග මංචි දැනන් හිටියා.. වෙලාවකට ක්‍රේප් පටි...පරණ කැසට් පීස් වල දුඹුරු පාට පටි අරන් ගිහින් ඒවගෙ මල් අමුණලා අරලිය ගහේ අතු දිගේ එල්ලලා පුංචි පුංචි සාදත් දානවා... <:-P ඒ හැම දඟ වැඩක්ම ඉවසීමෙන් දරාගෙන ඉන්න මගේ අරලිය ගහට පුලුවන් කම තිබුණා..:-*

      ඒ වගේම මංචි පුංචි කාලෙත් දුක වැඩිය එලිපිට පෙන්නන කෙනෙක් නෙවෙයි..ඉතින් හිතට දුකක් දැනුනොත්.. අඬන්න ඕන වගේ හිතුනොත් මංචි ඉක්මනට දුවන්නෙ අරලිය ගහට.. මංචිගෙ අම්මටයි තාත්තටයිත් වඩා මංචිගෙ කඳුලු දැකල තියෙන්නෙ අරලිය ගහද කොහෙදෝ..හිතේ දුක යනකල්ම මංචිගෙ කියවිල්ල අහගෙන ඉන්නෙ ආදරණීය අරලිය ගහ තමයි... >:D<

      ටිකක් ලොකු වෙද්දි මංචි බොහොම තදින් ඇබ්බැහි වුණු පුරුද්දක් තමා පොත් කියවිල්ල... කන්න ගියත්..නිදියන්න ගියත්...පොතක් නැතුව බැරි වෙන තරමට මංචි පොත් කාවෙක් වෙලයි හිටියෙ... :-@ඒ කාලෙදි..පොතක් කියවන්න පහසුම තැන වුණේ මේ අරලිය ගහ..ඒ දවස් වල එච්චර නොදැනුනාට මංචි වගේම අරලිය ගහත් ටික ටික ලොකු වෙලා තිබුණා මේ වෙද්දි.. 

      සාමාන්‍යයෙන් අරලිය ගහක තියෙනවට වඩා සැරට කොල හැදිල තිබ්බ නිසා හරිම හෙවණයි එතන..මංචිලාගෙ ගෙදර ඉස්සරහ තිබ්බෙ පිට්ටනියක්.. ඉතින් බොහොම සනීපෙට හුලං හමනවා..ගහේ ඉදගෙන අත්තකට හේත්තුව දාගෙන රසවත් පොතක් කියවන්න තියෙද්දි කොච්චර සැහැල්ලුද කියලා හිතාගන්න පුලුවන්නෙ....B-) එහෙම ඉඳිද්දි අනන්තවත් නින්ද ගිහිල්ලත් තියෙනවා...හැබැයි කවදාවත් වැටිලනම් නෑ හොඳේ....හෙහෙ...

      ඊලඟට ලෙමන් පඳුර... මංචිට කවදාවත් ඇත්තම සෙල්ලම් ගෙයක් තිබිලා නෑ...  ඒ වෙනුවට මංචි සෙල්ලං ගෙවල් දැම්මෙ ලෙමන් පදුර යට.. දැන් කට්ටිය බලනවා ඇති කොහොමද අප්පේ ලෙමන් පඳුරක් යට සෙල්ලම් ගෙවල් දාන්න ඉඩක් තියෙන්නෙ කියල..හික්ස්... 8-|

     ලෙමන් පඳුරු දැකලා තියෙන අය දන්නවා ඇතිනෙ..ලෙමන් අති එච්චර හයිය නැති නැමෙන සුලු අතු..ගෙඩි හැදිනම පොලවටම බර වෙනවා..ඉතින් ටිකක් උසට වැවිලා අතු පැත්තකට බර වෙලා තිබ්බ නිසා ලෙමන් පඳුරට ආධාරක කීපයක් ගහලා උස්සලයි තියෙන්නෙනෛතින් පඳුර යට හොඳට ඉඩ තිබුණා... ඒ වගේම හෙවණයි...සුව.....ඳයි...:)... මේ ලියන මොහොතෙදිත් මංචිට නම් ලෙමන් කොල වල අපූරු සුවඳ දැනෙනව දැනෙනව වගේ.. ඒ වගේම රසම රස ලෙමනේඩ් එකක් බොන හැම වෙලේම මංචිට දැනෙනෙනෙ.. ඒ සුන්දර ළමා කාලේ රසය.. :x

      ඊලඟට හිටියෙ ගැට පිච්ච වැලයි...ඉද්ද පදුරයි... ඉස්සර හැමදාම උදේට පන්තියෙ බුදු පහනට මල් වට්ටියක්ම කඩාගෙන යන්න මංචි පුරුදු වෙලා හිටියා.. අවුරුදු ගානක් තිස්සෙම නොකඩවාම ඒ පුරුද්ද ඒ විදිහටම කෙරුණා..හැමදාම උදේම ඉස්කෝලේ යන්න ඇඳගෙන කොණ්ඩෙ එහෙම ගොතලා ඉවර වුණාට පස්සෙ මංචි දුවන්නෙ පිච්ච වැල ලඟට.. 

      හැමදාම උදේට සුදුම සුදුපාට මල් පුරෝගෙන ඉන්න ඉද්ද මල් ගහයි පිච්ච වැලයි දැක්කම මංචිගෙ හිතේ පිරුණේ හරිම පහන් හැඟීමක්.. ඒක හරි අමුතුම හැඟීමක්... වචනයෙන් කියන්න අමාරු..විශේෂයෙන්ම ගෙදර ප්‍රශ්ණ තිබුණු කාල වලදි ඒක හරි උදව්වක් වුණා.. ඉස්කෝලෙ යන්න කලින් හිත නිදහස් කරගන්න....>:D<

      ඊට පස්සෙ මංචි බොහොම පරිස්සමට මල් ටික නෙලාගන්න අතරෙ පිච්ච වැලත් එක්ක හෙමීට කතා කරනවා.. එදා දවසෙ විශේෂ දෙයක් තියෙනව නම් ඒ ගැන.. ඒ වගේම එදා දවසෙ මූණ දෙන්න බයෙන් ඉන්න දෙයක් තියෙනව නම්.. ඒ හැමදේම අහන් හිටියෙ මගෙ ආදරණිය පිච්ච වැල... මංචි සතුටින් ඉන්නකොට පිච්ච වැලෙත් මල් ගොඩාරියක් පිපුණා...  :) ඒ වගේම දුකින් ඉන්න දවස් වලට හරියට එයත් මාත් එක්ක දුක් වෙන බව කියන්න වගේ පිපුණු මල් ගාන අඩු වුණා... ඒ බව මංචි හරියටම දන්නෙ.. :( ඒ දවස් වල මල් කඩද්දි ඒ මල් ගාන ගණින්න මංචි පුරුදු වෙලා හිටිය හින්දයි...

      ඒ ගහකොල වලින් මංචිට ඒ තරම් ආදරයක් ලැබුණු නිසාමද මන්දා..එයාලටත් මොනාහරි කරදරයක් වෙනවා බලන් ඉන්න අදටත් මංචිට බොහොම අමාරුයි.. මංචිගෙ තාත්ති වාහනයක් අරන් ඒකට ගරාජ් එකක් හදන්න පිච්ච මල් වැල කපන්න හදපු වෙලාවෙ මංචි පොලවෙ හැපි හැපි ඇඬුවා...අන්තිමේදි තාත්තිට වුණේ වෙන තැනක් තෝරගන්නයි ගරාජ් එක හදන්න...හික්ස්... :P

      ඊට පස්සෙ ඉද්ද මල් ගහට දිලීර රෝගයක් හැදිලා කොල කොඬ වෙන්න පටන් ගත්තම මංචි ඒකට බෙහෙතක් හොයන්න බොහොම මහන්සි වුනා.. අන්තිමේදි කෘෂිකර්මෙන් කිව්වා ගහ පුරාම අලුගාන්න කියලයි... ඊලඟ සතිය පුරාම මංචි හැමදාම උදේට නැගිටලා ඉද්ද ගහේ කොලයක් කොලයක් ගානේ අලු ගාන්න අමතක කලේ නෑ.. එහෙම කරලා ඉද්ද ගහ නම් බේරගත්තා වුනාට... ඒ කිට්ටුවම තියෙන අරලිය ගහට ඒ දිලීරෙ බෝ වුණාම නම් බේරගන්න මංචිට බැරි වූනා... ඒ ගැන මංචිට බෝම දුකයි... :((

      හයිය හත්තිය තියෙන පරණ ගහක් නිසා අරලිය ගහ මැරුණෙ නම් නෑ වාසනාවට... ඒත් දැන් ඉස්සර වගේ ලස්සනට කොල පාටට කොල ගොඩාක් හැදෙන්නෙ නෑ.. වැඩිය මල් පිපෙන්නෙත් නෑ.. :( ඒත් ඉස්සර වගේම තවමත් ගෙදර ගියාම මංචි අරලිය ගහට හරිම ආදරෙයි.. 
:x
      මංචි වසීලිස්සගෙ රටට එන්න කලිනුත් ඒ හැම ගහක් ගාවටම ගිහින් කතා කරල එන්න අමතක කලේ නෑ... :).. අදටත් ගෙදර ගියාම එයාලව දැක්කම දැනෙන්නෙ පවුලෙ කෙනෙක්ව දකිනවා වගේ හැඟීමක්... 

      දැන් ඔයාල හිතනවද දන්නෙ නෑ මංචිට පිස්සුද මන්දා කියලා...නැත්තම් කියනව ඇති බොලේ මේ කෙල්ලට පොඩි කාලෙ හිටලම ඔල්මාදෙනෙ කියල..හෙහෙ... මිනිස්සු එහෙම හිතයි කියල තියෙන බයටම මම මගේ ගහකොල එක්ක තියෙන යාලු කම් ගැන වැඩියා කා එක්කවත් කතා කළේම නෑ මේ ලඟක් වෙනකල්ම.. 8-X

      ඒත් එහෙම මිනිස්සු තවත් ඉන්නවා කියල හරි ලොකු හැඟීමක්..හයියක් හිතට ඇති වුණා පහුගිය නිවාඩු කාලෙදි ගෙදර ආපු වෙලාවෙ කියෝපු හරිම කාලෝචිත...අර්ථාන්විත...ලස්සන පොතක් නිසා... මට මගේ කොළපාට යාලුවො ගැන ලිපියක් ලියන්න ඕන කියන හැඟීම තදින්ම ඇති වුණෙත් ඒ පොත කියෙව්වට පස්සෙයි... ඒ නිසාම මම ඒ කතෘතුමාට බොහොම කෘතඥවන්තයි මගෙ මුලු හිතින්ම....


      කරුණාසේන සූරියආරච්චි මහතාගේ...''රතු ඉද්ද'' කියන පොත තමයි මම මේ කියන අපූරු පොත.. මම දන්න විදිහට ඒ පොත 2012 වසරෙ ස්වර්ණ පුස්ථක සම්මානයටත් නිර්දේශ වෙලා තිබුණා...මම ජීවිත කාලෙදි කියෝපු අපූරුම පොතක්..විශේෂයෙන්ම පරිවර්ථන නොවන..

      ගොඩක් මිනිස්සු හිතන්නෙ ගස් වලට සමීප වෙන එක්ක..එයාල එක්ක කතාබහ කිරීම අසාමාන්‍යයි කියලයි.. මේ පොතේ එන සඳවතී ඒ වගේ කෙනෙක්... අනික් අයට කොහොම වෙතත් ඈ මට නම් බොහොම සමීප වුණා.. ඒ ඇයත් මං වගේම ගහට වැලට බොහොම සමීප කෙනෙක් වීම...සහ අහම්බයකින් වගේ ඇගේ විශේෂ සබඳතාවක් තියෙන..''ඉද්ද ගහ'' නිසා වෙන්න ඇති... ඉතින් ඔයාලත් ඒ පොත කියවලා බලන්නකො වෙලාවක... විශේෂයෙන්ම.... මේ ලිපිය කියවද්දි... ''මේ මංචියට පිස්සුද මන්දා...''කියල එක පාරක් හරි හිතුණනම්....^:)^  ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවට ගස් වැල් එක්ක ටිකක් සමීප වෙලා බලන්න... හිතට දැනෙන සැනසීම... මිනිස් යාලුවො දාහක් හිටියට වඩා වටිනවා එක කොලපාට යාලුවෙක්...ඇත්තෙන්ම... %%-

මකුළුවෙක් වෙන්න....??




     මේ පෝස්ට් එක ලියන්න හිතුණෙ...ඇවිද්ද පය බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක් දැකලයි..ඒ පෝස්ට් එකේ අපි වගේ අන්වර්ථ නම් වලින් ලියන අයට අවස්ථාවක් දීල තිබ්බා අපි අපේ බ්ලොග් පිටු වලට..ආරූඪ නම් වලට මේ නම් තෝර ගත්තෙ ඇයි කියන හේතුව ගැන කියන්න...ඇත්තෙම ඒක හරිම විනෝදජනක අපූරු පෝස්ට් එකක්....

     ඉතින් මටත් හිතුණා මම මකුළු පැංචියෙක් වුණේ කොහොමද කියල ඔයාලට මගේම පෝස්ට් එකකින් ඔයාලට කියන්න...ඒ වගේම ආදරෙන් මතක් කරන්න කෙනෙකුත් ඉන්නවා මේ 'මකුළු පැංචි' නම පිටිපස්සෙ හැංගිලා...


     ඉතින් ඔන්න....ඉතාම ඈත අතීතයෙදි...මං බ්ලොග්ස් කියවලා අදහස් පලකළේ සහ හාහා පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ මේ මකුළු පැංචි කියන නමින් නම් නෙවෙයි....මගේ සැබෑම නමේ දෙවෙනි නමින්..මොකද ඒ දවස් වල බුකියෙ කිවිඳියක් විදිහට ඒ නමින් තමා සෑහෙන පිරිසක් මාව දැනගෙන හිටියෙ..හැබැයි බ්ලොග් ලෝකේ නම් ඒ තරම් අය මාව දැනගෙන හිටියෙ නෑ...ඒ වුණත්... මාරයගෙ...දුකාගෙ...මධුරංග අයියගෙ...බ්ලොග්ස් දැක්කම මටත් හරිම් ආස හිතුණා මගෙම බ්ලොග් පිටුවක් හදාගන්න...


     බ්ලොග්ස් ගැන හයක් හතරක්වත් නොදැන බොහෝම අමාරුවෙන් යූ ටියුබ් ටියුටෝරියල්ස් බල බල බ්ලොග් එකක් හදාගෙන බ්ලොග් අවකාශෙට සම්ප්‍රාප්ත වුණාට මොකද පහු වෙද්දි මංචිටත් ඒ බ්ලොග් එක වැඩිය අල්ලලා ගියේ නෑ..ඒ බ්ලොග් පිටුවෙ තිබුණෙ තනිකරම කවි....ඒත් දැන්නම් ඒ පැත්තෙ යැවෙන්නෙත් නැති තරම්...


     ඇත්ත නමින් ලියන එක සමහර අවස්ථාවලදි හරි ප්‍රයෝජනවත්...හරි පහසුවක්...ඒත් ටික කාලයක් එහෙම ලියද්දි හිතුණු දෙයක් තමයි මිනිස්සු අඳුනන අයට අදහස් දක්වන්නෙ මූණිච්චාවට බව..හොඳට ලියන කෙනෙක් ඒ තරම් වැදගැම්මක් නැති දෙයක් කළත් මිනිස්සු කියන්නෙ...'අනේ හරි ෂෝක්...'...'වාව්'...'පට්ටයි...' කියලයි.....ඉතින් මට ඕන වුණා හිතේ තියෙන දේවල් තිරයකට මුවා වෙලා ලියන්න..මගේ අදහස් වලට වගේම අනික් අයගෙ අදහස් වලටත් නාමික මායිම් නොයොදා ඉන්න....


     ඉතිං කෝ හැංගෙන්න නමක්...??? එක සැරේටම හිතට ආපු නම තමා මකුළු පැංචි..


     ඒකට හේතු වුණේ හරිම අපුරු යෙහෙළියක්....ඒ කවුද දන්නවද..??...ඉන්නකො ඉතින් කියනකල්.....


     ඉස්සර අපේ ගෙදර බාත් රූම් එකේ හිටිය තරමක් ප්‍රමාණයෙන් විශාල මකුළු හාමිනේ කෙනෙක්..හරියටම අවුරුදු 14-15 වයසෙ ළමයෙක්ගෙ අල්ලක් තරම් විතර ඇති ප්‍රමාණයෙන්....අපේ අම්මා නම් හරිම බයයි ඌට..වතුර ගගහ එළවන එකමයි වැඩේ..මමත් ඌට ටිකක් බයයි..මොකද ඌට තිබ්බෙ ටිකක් නපුරු පෙනුමක් තිබුණු අඬු පඬු..ඒත් වැඩිය ලං නොවී හිටිය මිසක් මංචි කවදාවත් ඌට වතුර ගහල එලෙව්වෙ නෑ..


     ටික කාලයක් යද්දි හැමදාම උදේට රෑට දත් මදින ගමන්...නාන ගමන්...මංචිට පුරුදු වුණා මේ මකුළුච්චි දිහා බලාගෙන ඉන්න..බිත්ති මුල්ලක වියල තිබ්බ මකුළු දැල තිබ්බෙ මංචිගෙ ඇස් මට්ටමේ..මංචිගෙ අම්මා කොයි තරම් ඒ දැල කඩල දැම්මත්..මකුලු හාමිනේ නෙවෙයි පසු බැස්සෙ..ආයෙම එතැනම දැල වියාගෙන ඉන්නව පහු වෙනිදටත් චණ්ඩියා වගේ...


     ඔහොම අවුරුදු ගාණක්ම එතනමයි දැළ විවුවෙ...සමහර දවසට එයා හිටියෙ බඩේ බිත්තර මල්ලකුත් බැඳගෙන..එහෙම දවසට නම් මංචි කීයටවත් වතුර ගහන්න ඉඩ දුන්නෙ නෑ අම්මට..මොකද එහෙම දවස් වලට මකුළු හාමිනේ හිටියෙ හරි අමාරුවෙන්...හයියෙන් දුවාගන්නවත් බැරුව...


     පෙලක් වෙලාවට මංචි දුක හිතිලා නාන කාමරේට වෙලා හිත හිත ඉද්දි තනියට හිටියෙ මේ මකුළු හාමිනේම තමයි..ඔන්න ඔය විදිහට

තමා මේ මකුළුවා කියන චරිතය මගේ හිතේ තදින්ම පැලපදියම් වෙන්නෙ...

     විශේෂ හේතුවක් නිසා එහෙම වුණා කියල කියන්න බැරි වුනත්...ඒ දවස් වල මට ඒ මකුළු හාමිනේව පෙනුණෙ මගෙ හොද යාළුවෙක් වගෙයි..(මට ඒ දවස් වල හිටියා ඔය වගේ පරිසරයට සම්බන්ධ යාළුවො කීප දෙනෙක්ම...ඒ අය ගැනත් කියන්නම්කො පහු වෙලා...)..ඒ වගේම ජීවිතේට ලොකු පූර්වාදර්ශයක් වගෙයි...


     මකුළුවා කියන්නෙත් ඒ තරම් සිත් ඇදගන්නා සුලු සතෙක් නෙවෙයිනෙ..ඒත් ඌ හරිම අහිංසක සතෙක්..බොහොම වෙලාවට කිසිම හානියක් නොකරම අපි මකුළුවන්ට හරි බයයි..ඒක කොච්චර අසාධාරණද...තමන්ට වෙනස් කරගන්න බැරි දෙයක් නිසා දුක් ගැහැට විඳින්න වුණාම කෙනෙක්ට දැනෙන්නෙ ලොකු හිත් වේදනාවක්...


     ඒත් අනික් අතට බලන්න....අපි මොන තරම් සිය දහස් වතාවක් උගේ දැල කඩා බිඳල දැම්මත්..මකුළු හාමිනේ ආයෙ ආයෙමත් ඒක බඳිනවනෙ..අනික ඒ ආයෙම හදන දැලත් ඉස්සර තිබුණු එක වගේම හරි පරිපූර්ණ දැලක්..



     හොදට හිතල බැලුවොත් ජීවත් වෙද්දි කීප දෙනෙක් හැරුණම අපි බොහොම දෙනෙක් මකුළුවො වගේ වෙන්න ඕන කියලයි මංචිට හිතුණෙ..සමාජය අනන්තවත් අපි හදන දැල් කඩල බිඳල දානවා..ඒ වගේම වත්පොහොසත්කමක්..බලපුළුවන්කාරකමක්..සිත් දිනා ගැනීමේ ලොකු වාසනාවක්..ලස්සනක්..විශාල ප්‍රතිරූපයක් නැත්නම්..ඒ වගේ කෙනෙක්ට සමාජය නොදැනුවත්ව හෝ දැනුවත්වම කරන කෙනිහිලිකම් බොහොමයි..

     ඒ දේවල් වලින් ගොඩක් අය කවදාවත් ගොඩ එන්න බැරිවෙන විදිහටම වැටෙනවා..තවත් සමහරු ඒ වැටුණු තැනින් ගොඩ එන්න උත්සහ කරන්නවත් බැරි තරම් වැටෙනවා... ඒත් අපි එහෙම වෙන්න ඕනෙද..??


     අපිට බැරිද මකුළුවො වෙන්න....??


     ආයෙ ආයෙමත් නැගිටින්න..??


     කොහොමින් කොහොමින් හරි මකුළු පැංචි කියල ලස්සන නමක් දාගෙන ආවට මොකෝ අන්තිමේදී දැන් හැමෝම වගේ මට කියන්නෙ ''මංචි'' කියලයි.. සමහරු අහනවා මම මංචි බිස්කට් කන්න පෙරේතද කියලත්..(එහෙම නෑ හරිද ඔන්න..) මංචි කියන නම හැදුණෙ ගූගල් බස් පදින්න ගිහින් වෙච්චි සංතෑසියක් හන්දයි..


     මුලින්ම බස් පදින්න ගියාම කට්ටිය රොක් වෙලා විස්තර අහනවනෙ..එතනදි තමා මට බ්ලොග් ලෝකේ දැවැන්තයො කීප දෙනෙක් වගේම...නවක පිරිසත් ගොඩක් දැන අඳුනගන්න ලැබුණේ..අපරාදෙ කියන්න බෑ...මුකුත්ම නොදැන් උන්නු මට ප්‍රවීණෑ නවක බේදයකින් තොරවම උදව් කරන්න ඉදිරිපත් වුණු සහෝදර සහෝදරියො ගොන්නක්ම හිටියා...


    මංචිට දැනුණෙ හරියට අපූරු පුංචි පවුලකට එකතු වුණා වගෙයි..නැක දවසක් ඔන්න ඔතනදි තමා කට්ටියට ඕන වුණේ මකුළු පැංචිට කෙටි නමක් දාගන්න... මතක හැටියටනම් සිරකරුවා තමයි යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ... ඉතින් අපේ මාරයා..සිරකරුවා..බීට්ල්..ඩිලාන්..සිහින..කණියා....වැපා..හසී..සුදු පූසා..ඇතුළු එකී මෙකී නොකී සෑහෙන පිරිසක් එකතු වෙලා මකුළු කියන එකෙන් 'ම'යන්නයි...පැංචිගෙන් 'ංචි' කෑල්ලයි එක්කහු කරලා 'මංචි' කියල දැම්මෙ..


     කොහොමින් කොහොමින් හරි...දැන් ඉතින් මකුළු පැංචි කියල කතා කරන්නෙ බොහොම අඩු පිරිසක්...ගොඩක් අය කියන්නෙ මංචි..මකුළි...මකුලිච්චි...ඔන්න ඕව තමා..කොටින්ම මාත් මට කියාගන්නෙ මංචි කියලනෙ...හික්ස්... :D



ඔලුව හැරුණු අත...




      හැමදේම පටන් ගත්තෙ එකෝමත් එක දවසක හවස් වරුවෙ.. එළියට බැහැලා කොහේ හරිම යන්නම කියලා මගේ ඔළුව අතොරක් නැතුව කංකෙඳිරිගාන්න ගත්තා..වෙන කෙනෙක්ගෙ බල කිරීමක් වගේ නෙවෙයි තමන්ගෙම කොටසක්..දෙයක් කරන්න කියලා බලකරන්න ගත්තහම...ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි ගොඩාක් හිත හයිය කෙනෙක් නෙවෙයිනම්...

      මේ කියන දවස් වල මගෙ හිතත් ගොඩක් හයියට තිබුණෙ නැතුව ඇති...කොහොමටත් මම වැඩිය හිත හයිය කෙනෙක් නෙවෙයිද කොහෙදෝ...ඉතින් දෙපාරක් නොහිතා එළියට බහිනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ...

      හිම වැටෙන කාලයක් වුණත් මම හිම කබාය ඇඳගන්නකල් වත් ඉවසගෙන ඉන්න ඔළුවට පුළුවන් වුණේ නෑ..ඉතින් ඔන්නොහේ කමක් නෑ කියලා අපි ගමන පටන් ගත්තා...

      අපි කිව්වමයි මතක් වුණේ...මාත් එක්ක තවත් කවුදෝ ඇවිත් හිටියා..හුරු පුරුදු අඳුනන ගතියක් දැනුණ වුණත් මම වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ..

      නිකං මොකට මහන්සි වෙනවද..එනවනම් ඔහේ ආපුවාවෙ...මට මොකෝ....මං එහෙම හිතුවා..

ඒත් ටික දුරක් යද්දි මගේ ගමන් සගයා මට කතාකළා... '' අපි මේ කොහෙද යන්නෙ...??'' එයා ඇහුවා..

      ''ඔළුව හැරුණු අතකට...'' මම උත්තර දුන්නා.. '' හ්ම්ම්...හරි එහෙනම්...යමු..'' එයා කිව්වා...

      ඉතින් අපි දිගටම ගියා..ගොඩාක් හිම වැටෙන වෙලාවට වුණත් අපි නතර වුණේ නෑ...මට සීතලක් දැනුනෙත් නෑ හැබැයි..අපි යන අතරමගගොඩාක් අය මුණගැහුනා..එයාලගේ ඒ හැටි විශේෂයක් පෙනුණෙ නෑ..කවුරුත් කතා කළෙත් නෑ..අපි කතා කරන්න උත්සහ කළෙත් නෑ..

      ටික කාලයක් යද්දි කවුදෝ දෙන්නෙක් අපට නිතරම දකින්න ලැබෙන බව මම දැක්කා... ගෑනු ළමයෙකුයි...පිරිමි ළමයෙකුයි...වෙන අය වගෙ නෙවෙයි මේ දෙන්නා යන්නෙත් අපි දෙන්නා යන පාරෙමයි කියල හිතෙන තරමට අපට එයාලව මුණ ගැහුණා...හැබැයි එයාල අපි එක්කවත්..අපි එයාල එක්කවත් එක්ක කවදාවත් කතා කළේ නෑ..එයාලට අපිව පෙනුණෙත් නැද්ද මන්දා...එයාල හිටියෙ එයාලගෙම ලෝකෙක...

      තවමත් ඔළුව හැරෙන හැරෙන අතට ගියා වුණත් දැන් දැන් මම ඒ ගෑනු ළමයයි පිරිමි ළමයයි දිහා විශේෂයෙන් බලන්න පටන් ගත්තා.. ඒදෙන්නටත් හිම වැටෙන එක...සීතල...ගාණක් නෑ වගේ...එයාල එකිනෙකාට කිට්ටුවෙන් ඇවිදගෙන ගියා වුණත් අතින් අත අල්ලගෙන හිටියෙ නෑ..දකින හැම වෙලාවකම වගෙ එයාල හිටියෙ එකිනෙකා සමග කතා කරමින්..දෙන්නෙක්ට මොනවද ඔය හැටි කතා කරන්න තියෙන්නෙ හැබෑට..... !!! 

      කතා නොකරන පුංචි වෙලාවක් හරි තිබ්බොත් ඒ දෙන්නා කළේ තරඟෙට වගේ ඇස් පිල්ලම් නොගහා එකිනෙකා දිහා අමුතු බැල්මකින් බලාගෙන හිටිපු එක... ඒ වගේ වෙලාවන් කීපයකදිම මුලින්ම ඇස් පිල්ලම් ගැහුවෙ පිරිමි ළමයා..එහෙම වෙලාවට දිනපු නිසා සතුටට වගේ ගෑනු ළමය හයියෙන් හිනා වුණා වුණත් එයාගෙ ඇස් දෙකේ යාන්තමට වගේ දුකක් ඇති වෙලා නැති වෙලා ගියා..ඒක කෙනෙක්ට දකින්න තරම් වෙලාවක් නොතිබුණා වුණත් මේ වෙද්දි මම ඒ දෙන්නා දිහා හරිම උනන්දුවෙන් බලන්න පුරුදු වෙලා හිටිය නිසා මම ඒ බව පැහැදිලිවම දැක්කා...

      දැන් එන්න එන්න ලෝකය උණුසුම් වෙන්න පටන් අරගෙන...හිම තට්ටු උඩ සපත්තු වලින් හදපු කැත දුඹුරුපාට පැල්ලම් මැකිල යන තරම්වත් හිම පතනයක් වුණේ කලාතුරකින්.. එහෙම හිම රවුමක් වැටිලා ආපහු හැම තැනම සුදුවට ලස්සනට පේන්න ගත්ත දවසක මට අර ගෑනු ළමයවයි පිරිමි ළමයවයි ආයෙමත් මුණ ගැහුණා...

      අපි හමු නොවුණු ටික දවසට මොකද්දෝ වෙනසක් වෙලා...ලොකුවටම පේන්න තිබුණු වෙනස තමා ඒ දෙන්නා කවදාවත් නැතුව අත් අල්ලගෙන හිටපු එක..ඒ ඇරුණම දෙන්නගෙම මූණු සතුටින් පිරිලා තිබුණා..ගෑනු ළමයගෙ කම්මුල් රතු වෙලා..ඇස් දෙක වෙනදටත් වඩා ලස්සනට දිලිහි දිලිහි තිබුණා.. මටත් මොකද්දෝ ලොකු සතුටක් දැනුණා..

      අපි හිස හැරුණු අත යන එකනම් නතර කළේම නෑ... 

      දැන් දැන් අපට ඒ ගෑනූ ළමයවයි පිරිමි ළමයවයි මග ඇරුණෙම නැති තරම්... ඒ දෙන්නා නිතරම හිනා වෙවී කතා කර කර සතුටින් හිටියා..හැමදාම අළුත් දවසක් පටන්ගනිද්දි පිරිමි ළමයා ගෑනූ ළමයගෙ නළලට සීරුවට හාද්දක් දුන්නා..

      පරිසරයටත් අලුත් වෙනසක් වෙමින් තිබ්බා..හරියට මේ දෙන්නගෙ සතුට කාන්දු වෙලා වගේ..ගස් වල අතුරිකිලි කොළ පාට වෙලා පුංචි පුංචි අංකුර එළියට එබෙන්න පටන් ගත්තා..හැංගිලා හිටපු ඉරත් මූණ සෝදගෙන ඇවිත් දවසෙ වැඩි හරියක් හිනා වෙවී ඉන්න පුරුදු වුණා..කුරුල්ලොත් කම්මැලිනැතුව සිංදු කියන්න පටන් ගත්තා..

      ඒ විතරක් නෙවෙයි... ගොඩාක් වෙලාවට වලාකුළුත් ඇවිදින් හැමෝවම තෙමෙන්න වහින්නත් පටන්ගත්තා..එහෙම වෙලාවට අර පිරිමි ළමයා ගෑනු ළමයව තුරුල් කරගෙන ආරක්ෂා කරගත්තා නොතෙමෙන විදිහට...ගෑනු ළමයව චුට්ටක්වත් නොතෙමෙන්න ආරක්ෂා කරගන්න පුළුවන් වුණු දවසට අහසෙ ලස්සනට දේදුන්නකුත් පෑව්වා...

      මේ වෙද්දි අපටත් අනික් හැමදෙයක්ම නොපෙනී ගිහිල්ලයි තිබ්බෙ..වටපිටාවෙ අපිව පහුකරන් ගිය අය ගැන අපට හාංකවිසියක්වත් මතකයක් තිබ්බෙ නෑ..ඔළුවත් දැන් දැන් හැරුණෙම අර ගෑනු ළමයයි පිරිමි ළමයයි යන දිහාවටමයි..එහෙමත් නැත්තම් ඒ දෙන්නත් ආවෙ අපි යන දිහාවටමයි...

      සීතල බිංදුවක්වත් නැති වෙන තරමට උණුහුම් වෙලා මල් පිපෙන්න පටන් ගත්තා...මේ වෙනකොට ඉර හරිම රස්නෙයි..පිරිමි ළමයා නිතරම තමන්ගෙ හෙවණැල්ල යටිනුයි ගෑනු ළමයව එක්කරගෙන ගියේ..දවසින් දවසම ගෑනු ළමයගෙ ඇස් දෙකේ ප්‍රභාව වැඩි වුණත්..මේ ළඟකදි ඉඳන් පිරිමි ළමය වෙනද වගේ වැඩි හිනාවක් නෑ වගේ කියල මට හිතුණා..ගෑනු ළමයා බලන වෙලාවට හිනා වෙලා ඔළුව වැනුවා වුණත් අනික් ගොඩක් වෙලාවට එයා හිටියෙ ලොකු කල්පනාවක...

      දවසක් දා උදේක හැමදාම දෙන හාදුව දෙන්නත් එයාට අමතක වුණා...එදානම් ගෑනු ළමයගෙ මූණත් මැලවිලා තිබුණා.. අර ඉස්සරම දවසක වගේ තුනී කඳුළු පටලයක් ඇස් වල එකතු වෙලා තිබ්බා..ගොඩක් කාලයක් තිස්සෙ ඒ විදිහට එයාව නොදැකපු හින්ද අමුත්තක් දැනුණ වුණත්..මට මෙච්චර කාලෙකට නොදැනුණු හුරු පුරුදු ගතියක් දැනෙන්න ගත්තෙ ඇයි මන්දා...

       ආපහු පොඩ්ඩ පොඩ්ඩ සීතල වෙන්න පටන් අරගෙන... ගස් වල කොළ කහ පාට රතු පාට වුණා මදිවට වැටෙන්නට පටන් අරගෙන තිබුණා..මල් පිපිල්ලත් සෑහෙන අඩු වෙලා ගිහින් තිබුණා...
එක දවසක් උදේම අපි ආපහු ගමන පටන් ගන්න ලෑස්ති වුණා..කලින් දවසෙ විවේක ගන්න නතර වෙලා තිබුණෙ දෙමංසලකට කිට්ටුවෙන් බව අපි දැක්කෙ දැනුයි..

       ගෑනු ළමයයි පිරිමි ළමයයි කලින්ම ගමන පටන් අරන් තිබුණා...අපිත් හෙමි හෙමීට ඒ දිහාවට ගියා..යන්න ඕන දිහාවට ඔළුව ඉබේටම හැරෙන නිසා දෙමංසල ගැන හිත කලබල කරගන්න වුවමනාවක් තිබ්බෙම නෑ අපට...ඒත් දෙමංසලට කිට්ටු වෙද්දි තමයි අපි දැක්කෙ වෙනදා නුදුටු දෙයක්.... 

       ගෑනු ළමයගෙ ඇස් දෙක රතු වෙලා කම්මුල් දිගේ කඳුළු ගලමින් තිබුණා..පිරිමි ළමයාගෙ ඇස් දෙකේ තිබුණෙ කවදාවත් නැති විදිහෙ හිස්කමක්... දෙමංසලෙන් ගෑනු ළමයා හිටගෙන හිටියෙ වම් පැත්තට හැරෙන පාරේ පටන් ගැන්ම ළඟම...ඒත් පිරිමි ළමයට ඕන වුණේ දකුණු පැත්තට හැරෙන්න..බැලූ බැල්මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වගෙ තමයි පෙනුණෙ..පුංචි ප්‍රශ්නෙකට තිබුණෙ දකුණු පැත්තෙ පාර ගාව ගහල තිබුණු පුවරුවේ තිබ්බ වචන කීපයකුයි....

       ''ඇතුල්වීම එක් අයෙකුට පමණයි''

වමට හැරෙමු කියලා ගෑනු ළමය මොන තරම් කන්නලව් කළත් පිරිමි ළමය වුවමනාවෙන්ම එවා නෑහුණා වගේ හිටිය කියලයි අපට හිතුණෙ... අන්තිමේදී එයා ගෑනු ළමයගෙ අත අතඇරලා දකුණු පැත්තෙ පාර දිගේ යන්න පටන් ගත්තා...පොඩ්ඩක්වත් හැරිලවත් බලන්නවත් එයා නතර වුණේ නෑ...

       පිරිමි ළමයා නොපෙනී යනකල්ම... ගෑනු ළමයයි..අපියි බලාගෙන හිටියා.. අන්තිමේදි එයා නොපෙනී ගියාම මම ආපහු ගමන පටන් ගන්නයි ලෑස්ති වුණේ.. කාලෙකට පස්සෙ මගේ ගමන් සගයා මට කතාකළේ එතකොටයි...

      ''දැන් අර ගෑනු ළමයව නොදැක්ක වගේ යනවද..??''

       මෙච්චර කාලෙකට මම වැඩිය ගණන් නොගත්තා වුණත්..මේ යකා කියන දේත් සාධාරණයි කියල මට ඒ සැරේනම් හිතුණා...

      ඉතින් මම ඒ ගෑනු ළමය හිටගෙන හිටපු තැනට ලං වුණා...ඒ වතාවෙ නම් මට ඇත්තටම පුදුම හිතුණා..එතන හිටගෙන හිටිය ගෑනු ළමය මම වගේමයි....මම වගේම තව කෙනෙක්...??..එක්කො ඒ මමම වත්ද???..... මට වැඩිය හිත හිත ඉන්න ලැබුණෙ නෑ... එයා ඔළුව උස්සලා මගේ දිහා බැලුවා.... හරිම දුක්බර විදිහට...

      ''දැන් කොහෙද ඔයා යන්නෙ..??'' මම ඇහුවා.... 

      එයා ඇස්පිල්ලම් නොගහ මොහොතක් බලාගෙන හිටියා...එහෙම ඉඳලා කතාකළා..

      ''ඔළුව හැරුණු අතකට...''

      ''හ්ම්ම්....හරි...එහෙනම් යමු...'' මම උත්තර දුන්නා.......






෴මංචි෴




පසුව ලියමි....
( කවුරුහරි කෙනෙක් මේ කතාව අන්තර්ජාලයේ අහම්බෙන් වගේ දැකල කියවලා තියෙන්න පුංචි ඉඩක් තියෙනවා..හැබැයි මංචි මේක වෙන කාගෙන්වත් කොපි කළා එහෙම නෙවෙයි හොඳඳ...ඒ අනික් පෝස්ට් එකේ අයිතිකාරිත් වෙන කවුරුත් නෙමෙයි..මංචිම තමයි...හොඳේ..?? )


ලී බෝනික්කෝ......





     චූටි දුව එය මුල්ම වතාවට දුටුවේ මීට සතියකට පමණ පෙරය.මා අල්මාරියේ වූ සියලුම ඇඳුම් බඩු මුට්ටු එළියට ඇද, ඒවා පිළිවෙළට නවමින් ඒවා එකිනෙක වෙන් කරමින්ද අඩුක් කරමින්ද උන්නෙමි... බොහෝ කලකට පසු ලැබුණු දින තුනක නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගැනීම පිණිස මම නිවසේ කොනක පටන් අස්පස් කිරීමට පටන් ගත්තේ එදිනය.. මාධව ද සාලයේ කුමක්දෝ වැඩක නිරත වෙමින් සිටියේය..

     මා ඇඳ මත ඇඳුම් ගොඩ ගසා තිබුණු හෙයින් චූටි දුව ඇඳ අසල බිම වාඩිවී සෙල්ලම් කරමින් සිටියාය... 

     ''අම්මී...අම්මි අලක අරන් දෙන්නකෝ..??'' 

     ඇඳ උඩට නගින්නට පටන් ගනිමින් ඈ කීවාය..

     ''මොකද්ද චූටි..???'' මම ඇඳුමක් නවන අතරේම ඇසුවෙමි... 

    ''අර තීන්නෙ... අර නිල් පාට......'' 

     නිල් පාට...???.. හැරී බැලුවෙමි.... 

     චූටි දූ බලා සිටියේ මෙතෙක් කල් මා පණ මෙන් පරිස්සමට අරන් තබා තිබූ 'ඉවානුෂ්කා' දෙසය..

     ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව ගියේය... 

     උදෑසන සිටම තදින් හිම වැටෙන්නට පටන් ගෙන තිබුණද ඒ මගේ ජීවිතයේ මල්බරම සමයයි........ඉරිදා දවසේ යුනිවර්සිටිය නිවාඩු හෙයින් උදෙන්ම අවදි වන්නට අවශ්‍යතාවක් නොවුනද..පාන්දරම අවදි වන්නට මට  හේතුවක් තිබිණි..ඔහුත් මමත් පෙමින් බැඳී මාසයක් සපිරෙන එදින අප හමුවීමට කතිකා කරගෙන උන්නෙමු...

     සුපුරුදු පරිදි අප නගරය කෙළවරෙහි කුඩා අවන්හලෙහි අපේ සුපුරුදු මේසයෙහිම හමුවුණෙමු....වීදුරු බිත්තියෙන් එපිට හිම වැස්ස අපේ ප්‍රේමනීය මොහොතට සීතල පසුබිමක් මැවුවද අපේ හදවත් උණුසුමින් පිරී තිබිණි..එහෙත් මම කිසිත් නොකියාම ඔහු දෙස දඟකාර බැල්මෙන් බලා උන්නෙමි...

     ''මොනවද බලන් ඉන්නෙ...??''

     ''ඔයා මට ගෙනාපු තෑග්ග දෙනකල්...''

     ''තෑගි...හෙ හෙහ්....මම මොකටද ඔයාට තෑගි දෙන්නෙ...ඔයානෙ මට තෑගි දෙන්න ඕන..මාසයක් තිස්සෙ ඔයා වෙනුවෙන් කටු කනවට....''

     ''අනේ යන්න.....මම තරහයි...''
මම බොරු නෝක්කාඩුවක් මවා ගතිමි...

     ඔහු මගේ අතින් අල්ලාගත්තේය... ''අනේ පොඩ්ඩක් හිනා වෙන්න....නැත්නම් ඔන්න තෑග්ග දෙන්නෙ නෑ..''

     මම හිනාව තද කරගෙනම සිටියෙමි...

     ''කෝ ඉතින්...අපෝ තියෙන නපුරු පාට.... බබාගායි ආච්චි වගේ...''

     මගේ මුවින් හිනාවක් පැන්නේ ඉබේටමය...

     ''අන්න හොඳයි..දැන් නම් තෑග්ගක් දෙන්න වටිනවා...''

     ඔහු මෙතෙක් වේලාවක් සඟවාගෙන සිටි පාර්සලයක් එළියට ගනිමින් කීවේය..

     පුංචි රිබන් පටියේ පටන් ඔහු දෙන සෑම දෙයක්ම මා ආදරයෙන් පරිස්සම් කරගන්නා බව හොඳින්ම දන්නා බැවින් තෑගි දෙන කවර දෙයක් වුවද පරෙස්සමට ලස්සනට ඔතා දෙන්නට ඔහු වගබලාගත්තේය..


     මම තෑග්ග කුමක්දැයි බැලීමට නොයිවසිලිමත් වීමි...


     මුලින්ම වෛරම් වැටුණු රතු පැහැති රිබන් පටිය ලිහා...තෑගි ඔතන කඩදාසියද සිරුවෙන් ගැලවූයෙමි... ඔහු ඒ දෙස බලා උන්නේ පුංචි දරුවෙකු පරිද්දෙනි...


     ඇතුළත වූ කාර්ඩ්බෝඩ් පෙට්ටිය විවර වුණෙ කොතරම් සිරුවෙන්ද යත් ඉන් පුංචිම සද්දයක්වත් නොනැගිනි....


     මට හුස්ම ගන්නටද අමතක වූවා විය යුතුය...


     එහි වූයේ මම ඉතා ආසා කළ රුසියානු ලී බෝනික්කන් කට්ටලයකි...


     ''අනේ........අනේ හරිම ලස්සනයි........''

     මම ආදරයෙන් ඒ දෙස බලා උන්නෙමි..ඔහු බලා උන්නෙ මගේ ඇස් දෙක දිහාවය...


     ''ඉන්නකො....''කී  ඔහු ලොකු බෝනික්කා මගෙ අතින් ගෙන හෙමි හෙමින් ඇතුළෙ සිටි කුඩා බෝනික්කන් සියල්ල එකින් එක එළියට ගෙන පේලියට මේසය මත සිටවන්නට විය..

     සෑම බෝනික්කෙකුම එළියට ආවේ මගේ හදවතෙහි සතුට තව තවත් පුළුල් කරවමින්ය..


     එහි වූයේ බෝනිකි අම්මාත්...බෝනිකි තාත්තාත්...පුංචි බෝනිකි පැටව් අට දෙනෙකුත්ය....පුංචිම එකා සුලැඟිල්ලක් තරම්වත් ලොකු නොවීය...


     අනේ...හරි ලස්සනයි නේද.?? ඇයි ඉතින්  දහ දෙනෙක්ම ඉන්න එකක් ගත්තෙ...??


     එකල ඔහුගේ මුවගට නැගුනේ දඟකාර සිනහවකි...


     ''මාත් හිතන් ඉන්නෙ මේ වගේ පවුලක් හදන්නනෙ ....ඒකයි......හොඳයි නේද...??'' ඇසූ ඔහු මට ඇසක් ගැසුවේය...


     ''ආහ්හ්.....ඇත්තට....හොඳයි හොඳයි.....හැබැයි ඉතින් ඔයාට වෙන බඳින්න කෙනෙක් හොයාගන්න වෙයි...''


     ''ඇයි ඔයා ඉන්නෙ.....??''


     ''අපෝ මටනම් බෑ ඔච්චර ළමයි හදන්න....'' මම බොරු නෝක්කාඩුවකින් කීවෙමි...


     පුංචි මේසය මතින් මගේ දෑත ග්‍රහණය කරගත් ඔහු මගේ දෑසට එබුණේය...මම ඉබේටම ඒ අතැඟිලි වල උණුසුම්ට අවනත වීමි...හදිසියේම ඒ දඟකාරයාගේ දෙනෙත් ඉතා හැඟුම්බර වී තිබුණි... 

     ''අට දෙනෙක් නම් ඕනේ නෑ බබා......ඒත්....මට ලස්සන පුංචි පවුලක් හදාගන්න ඔයා මට උදව් වෙනව නේද...??....හ්ම්ම්.....??....''

     මම මොහොතක් ප්‍රමාද වුණෙමි....එහෙත්.....

හදවතෙහි වූ පිළිතුර ගැන මට පුංචි සැකයක්වත් නොතිබුණි.....

     ''හ්ම්ම්ම්....ඔව්.....'''





     අම්මී.....චූටි දූ කතා කළ හඬින් මම කල්පනාවෙන් මදක් මිදුනෙමි....


     ''අනේ ඒක දෙන්නකෝ....''


     ''නෑ නෑ...ඒක ඕනෙ නෑ....ඔයාට තියෙන්නෙ සෙල්ලම් බඩු පෙට්ටියක්ම.....යන්න ගිහින් ඔයාගෙ බෝනික්කො ටිකත් එක්ක සෙල්ලම් ගෙයක් දාන්න....''


      එහෙත් ඈ කාමරයෙන් නොගියාය....මගේ පරණ අත්බෑගයක් සොයාගත් ඈ එහි යම් යම් දේ දමාගෙන කණ්නාඩි මේසය ඉදිරියේ රඟපාමින් සෙල්ලම් කරන්නට වූවාය...


     අල්මාරිය අසල බිම හිඳ ගත් මම ඇඳුම් නවන අතරේ යළිත් කල්පනාවට වැටුණෙමි....


........

     ඒ තරම් ආදරයෙන් වුන් අප අද ලෝක දෙකක තනි වූයේ කෙලෙසද...??


      ඩහ්හ්......!!



     යමක් බිම වැටෙන බොල් හඬින් මම ගැස්සී පියවි ලොවට ආවෙ ඒ මතක ලෝකයේ සොඳුරු සිහිනම මිස වෙනත් කිසිවක් නොවිණිදැයි සිතමින් සිටියදීය......

     දෑසේ මතුව තිබු තෙත් පටලය අතරින් මා දුටුවේ බිය වන්නට තරම් දසුනක් නොවේ ..එහෙත් මගේ හදවත නුහුරු බියකින් සලිත විය.... 


     චූටි දූ ඇඳ ඇතිරිල්ල අදිමින් සිටි අතර...ඉවානුෂ්කා ඇඳ පාමුල බිම වැටී සිටියාය...


     හිතට නැගුණු කේන්තිය කොතරම්ද යත්...දෙවරක් නොසිතාම මම චූටි දුවගේ අතට සැරෙන් පහරක් ගැසීමි....

     ''අත අරිනව ඕක...කිව්වා නේද ඒක ගන්න එපා කියල...එක පාරක් කිව්වම කියන දේ අහන්න ඉගෙන ගන්නවා...''


     ඇගේ අහිංසක පුංචි දෑස් වලට කඳුළු එකතු වන්නට මහා වේලාවක් ගත වූයේ නැත......මොහොතකින් ඈ කෑ ගසා හඬන්නට පටන් ගත්තාය...


     සාලයේ සිටි මාධවද කාමරයට දිව ආවේ කලබලයෙනි...


     ''මොකද වුණේ මේනු...ඇයි මේ චූටි අඬන්නෙ...??''

මම ගොලුවී උන්නෙමි...

     ''චූටි...ඇයි පුතේ අඬන්නෙ....??? එවර ඔහු දියණිය වඩාගනිමින් ඇසුවාය...


     ''බෝනික වැටුව කීල...අම්මි ගැවුවා...... ඊඊඊඊඊඊඊඊ...........'' චුටි දූ හඬමින්ම පැමිණිලි කළාය...


     මාධව මා දෙසට හැරුණේ කලකිරීමෙන් විය යුතුය.....


     ''මොකද්ද මේනු ඔයාට වෙලා තියෙන්නෙ...??.....ඔය ලී කෑල්ලක් වැට්ටුව කියල මේ නොදරුවට ගහන්න ඕනද??.. මේ අහිංසකීට තේරෙනවද ඔයාගෙ ඔය මහලොකු රුසියන් දර්ශනේ......''


     ඔහු දියණිය සනසවමින් කාමරයෙන් පිටවී ගියේ කෝපයෙනි...


     මම බෝනික්කා අහුලා අතට ගත්තෙමි...


     ''දෙයියනේ ඇත්තටම මම මේ මොකද්ද කළේ...?? ඇයි මම මගෙම දරුවට අතක් ඉස්සුවෙ මේ ලී බෝනික්කෙක් නිසා......''


     මාධව සමග අතිනත ගන්නට පෙර දින රැයෙහි මම මගේ සොඳුරු අතීතයෙහි සියලුම සැමරුම් පෙට්ටියක ලා මුද්‍රා තැබුවෙමි...ඒවා ,මගේම දෝතින් මරා දමන්නට නොහැකි වුවද...යළි අවුස්සා නොබලමියි මගෙම හදවතට සපථ වූයෙමි....


     මා ඉතිරි කරගත් එකම මතකය මේ බෝනික්කි පවුල පමණකි...එදා මම ප්‍රේමයෙන් පැරදුණු බොලඳ යුවතියක වූයෙමි....


     එහෙත් වැඩුණු ගැහැනියක මවක වුවද අදද මා කොතරම් නම් බොලඳද....? ඔහුගේත් මගෙත් ආදරය අද ද සජීවීව තිබිණි නම් මේ ලී බෝනික්කා දිවි හිමියෙන් ආරක්ශා කිරීමෙහි වරදක් නොවනු ඇත... එහෙත් අද ඒ ආදරයේ හෙවනැල්ලක්වත් පවතින්නේ නම් ඒ මගේ මතකයෙහිම පමණක් නොවේද..?? මේ ලී බෝනික්කා අහම්බයකින් හෝ දැන් දුටුව හොත් සිහින පුරවා එය මට තිළිණ කළ ඔහුටවත් එය හඳුනාගන්නට නොහැකි වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත.... එහෙයින්ම මේ ලී බෝනික්කා දැන් නිකම්ම ලී පතුරක් පමණක්ම නොවේද...??


     ජනේලයෙන් එපිට මිදුලෙහි මාධව චූටි දූ සමග හුරතල් බස් දොඩනු මට ඇසිණි... ඔහු ඈ සනසවාගන්නට මිදුලට කැදවාගෙන යන්නට ඇත....


     මම 'ඉවානුෂ්කා'  කලින් ඔතා තිබූ ඇද ඇතිරිල්ලෙහිම ඔතා යළි අල්මාරියෙහි තැන්පත් කළෙමි.... 


     හිස කකියාගෙන ආ හෙයින්...නවා තිබූ ඇඳුම් ටිකද ඉක්මනින් තට්ටු වල අසුරා ඉතිරිය අස්පස් කිරීම පසුවට කල් තැබූ මම මදක් හාන්සි වූනෙමි.....


     චූටි දූ උස් හඬින් සිනාසෙන හඬිනුත්..මාධවගේ කටහඬිනුත් මම අවදි වන විට සවස පහත් පසුවී තිබුණි...


     සාලය හරහා ඇවිද යද්දි මට පිටුපා සිටි ඔවුන් දෙදෙනා මා දුටුවේ නැත...ඔවුන් දෙදෙනා තවමත් මා සමග තරහෙන් වන්නට ඇතැයි මට සිතුණි...


     මුළුතැන්ගෙයට වැදුණු මම තේ සාදන්නට පටන් ගත්තෙමි....

     ''උඹ නම් මහ නපුරු ගෑනියක්....!''


     මගෙම හිත දොස් පවරන හඬින් මගේ දෑසට කඳුලු නැගිණි...


     මාධව මගේ ළඟටම එන තෙක් මට දැනුනේවත් නැත....මා දෑසේ වූ කඳුළු පිසගන්නට පෙරම ඔහු ඒවා දුටුවේය...මගේ හිස සෙමින් පිරිමදිමින් ඔහු මා තමාට ලං කරගත්තෙ සැබෑම සැමියෙකුගේ සෙනෙහසිනි....

    
     ''තවම ඔළුව කකියනවද මේනු.....??...මම බැන්නට තරහද..?? '' 

     ඒ ආදරණිය වචන හමුවේ මගේ හිත තව තවත් මට දොස් කියන්නට විය...දෙවියනේ මම වගේ පවුකාරියක්....! 
     
     චූටි දුවද මුළුතැන්ගෙට දිව ආවෙ එවිටය...

     මා හඬනු දුටු ඈ මගේ අතේ එල්ලුණේ සුපුරුදු හුරතලෙනි....


     ''අඬන්න අපා අම්මී.....මම ආයේ නෝටි වෙන්නෑ.....''


     මට මගෙම හදවතෙහි චපලත්වය තවදුරටත් දරාගත නොහැකි තරම් විය.....


      මාධවටද දියණියටද තුරුළු වූ මම හිතේ දුක තුනී වන තෙක්ම හැඬුවෙමි....




     සියල්ල සන්සුන් වී අප තේ බී අවසන් වූ පසු මාධව සහ චූටි දූ යළි සිය බැරෑරුම් කටයුත්ත ආරම්භ කළහ...මාධව හිස් පෙට්ටි කිහිපයක් එකතු කර දියණියට බෝනිකි ගෙයක් සාදා දෙමින් සිටියේය.... සැබැවින්ම මගේ පුංචි දූ කුමරිය බෝනික්කන්ට බෙහෙවින් ආශා කළාය....

     මා සැර වැර කර හිත රිද්දුවේ ඒ පුංචි හිත නොවේද...?? 


     දියණියද සිය සෙල්ලම් බඩු පෙට්ටිය අවුස්සමින් සෙල්ලම් ගෙයට තැබිය යුතු නොයෙක් දෑ තෝරමින් සිටියාය...


     මම කාමරයට වැදී අල්මාරිය හැර 'ඉවානුෂ්කා' අතට ගත්තෙමි.....මගේ හදවත දෙමංසලකට පැමිණ තිබු අතර...යා යුතු මග කිමෙක්දැයි මා තීරණය කර තිබුණි.... අවසන් වතාවට ඉවානුෂ්කාගෙ මතකය මෙනෙහි කරන්නට දෑස පියාගත් මම.... මොහොතකින් ඇස් ඇරියෙමි... තව දුරටත් හඬන්නට කඳුළකුදු ඉතිරිව තිබුණේම නැත....


     බෝනික්කාද අතින් ගෙන සාලයට පියමැන්න මා දියණියද...මාධවද හිඳ සිටි තැනින්ම හිදගත්තෙමි....


     ''චූටි දූ....එන්න සෙල්ලමක් කියා දෙන්න...''
     
     ඈ වහා මගේ ඇකයට පැන තුරුළු වූවාය.....

     මම ඇයට බෝනික්කන් එකින් එක ගලවා යළි සවි කරන ආකාරය කියා දුන්නෙමි...ලොකු බෝනික්කන් තුළින් පොඩි පොඩි බෝනික්කන් මතු වෙන අයුරු දකිද්දි ඇගේ පුංචි ඇස් වලින් විස්මය උතුරා යමින් තිබිණි....


     මාධව අප දෙදෙනා දෙස බලා උන්නේ සෙනෙහසිනි....


     ''දූ පොඩ්ඩක් සෙල්ලං කරලා ආසාව ගියහම ඔයා ආයේ මේක අරන් තියාගන්න...ඔයත් පොඩි එකානෙ....නේද...හෙහ් හෙහ්....'' 


     මගේ හදවතට බොහෝ කලෙකින් නොදැනුණු සැහැල්ලුවක් දැනිණි.......මමද සිනාසුණෙමි....


     ''කමක් නෑ....දූ එයාලව එයාගෙ සෙල්ලම් ගෙදර තියාගත්තාවෙ....මට දැන් ආදරේ කරන්න ලී බෝනික්කො නැතුවට ඔයාල ඉන්නවනෙ.....''






෴මංචි෴
.
.
.
.
.
.
.
ලැබුවාවූ 2013 නව වසර හැමෝටම සතුට , සැනසීම , ජයග්‍රහණය ගෙනත් දෙන,....වැඩි වැඩියෙන් බ්ලොග්ස් ලියවෙන..මටත් ලියන්න වෙලාව ලැබෙන සුභ නව වසරක් වේවා කියලත් පතනවා එහෙනම්... 


Related Posts Plugin for WordPress, Blogger...