ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

උපන්දින සිහිනය..........



      ආදර ජරමර..විරහ සීන් යනාදී සෙන්ටිමෙන්ටල් ලිපි ගොඩකට පස්සෙ...කාලයක් තිස්සෙ මග ඇරිච්ච ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුන ඔන්න....වෙනසකටත් එක්ක.... 


      පහුගිය දෙසැම්බර් අන්තිම...මංචි ලංකාවට ආපු බව ඔයාලගෙන් ගොඩ දෙනෙක් දන්නවනනේ..(නොදන්න අයත් එහෙනම් දැන් දැන ගත්තනේ..හිකිස්..) හදිස්සියේම ගත්ත තීරණයක් නිසා එහෙම එකපාරටම එන්න තීරණය කළා වුණත්..ඒකෙන් සමහර වැඩ නිකරුනේ අතපසු කරගන්න සිද්දවුණා වුණත්...මංචිට කාලයක් තිස්සේ මග ඇරුණු විශේෂ දවස් කීපයක්ම ගෙදර අයත් එක්ක සමරන්න අවස්ථාව ලැබුණා ඒකෙන්....හැම කලු වළාවකම රිදී රේඛාවක් තියෙනවය කියන්නෙ මේකට වෙන්ඩැති නේදෑ.... 

      ආහ්හ්...දැන් ඉතින් කියන්න අමතක වුණානේ මොනාද මේ විශේෂ අවස්ථා කියලා..පළවෙනි එක තමා ජනවාරි පළවෙනිදා...සිංහල අලුත් අවුරුද්ද වගේ ලොකුවට සමරන්නෙ නැති වුණත් දන්න කියන කාලේ ඉඳලම එදාට නැවුම් මුට්ටියකට කිරි ටිකක් උතුරවලා කිරිබතක් හදන එක මංචිගෙ ගෙදර සිරිතක්..මංචි තමා සාමාන්‍යෙන් ඔය කිරි උතුරවන වැඩේට සෙට් වෙන්නේ...ඉතින් පහුගිය අවුරුදු 3ම දොස් මුර මගෑරිලා ඔන්න මේ පාරත් මංචිම තමා කිරි ඉතිරෙව්වෙ.. දැන් ඉතින් ආයෙ අහන්ට දෙයක් නෑ අවුරුද්ද පුරාම කිරි උතුරනවා ඕං...හිකිස්.. 

       හරි එතකොට මොකද්ද මේ අනික් විශේෂ දවස...

මේ තියෙන්නෙ මංචිගෙ b'day cake එක..
      අනික් දවස තමා මකුළු පැංචිගෙ උපන් දිනේ...හෝව්..හෝව්...දැන් කට්ටිය බෝඩ් ලෑලි එහෙම උස්සගෙන කෑ ගහන්න පටන් ගන්න එපා..ඔන්න ඔය පහලින් තියෙන මංචිගේ ඇත්තම උපන්දින කේක් එකෙන් කෑල්ල ලෑල්ල කපාගෙන හෙමිහිට කන එක තමා තියෙන්නෙ.. :))...මංචිට මේ පිරුණෙ 24 වෙනි කිලෝ මීටර් කණුව නිසා ඔන්න ඉටිපන්දම් 24ක්ම ගැහුවා.. හිකිස්...කට්ටිය ඉටිපන්දම් ගනින්න කරදර වේ කියලයි ඕං මම ම කිව්වෙ...   


      මංචිට මේ ගෙදර අයත් එක්ක උපන්දිනේ ගතකරන්න ඉඩ ලැබුණෙත් අවුරුදු තුනකට පස්සෙයි...  හැබැයි ඉතින් වසීලීස්සගෙ රටේ ඉන්න යාලුවො සෙට් එක ඒකෙ අඩුවක් දැනෙන්න ඉඩක් නම් තිබ්බෙ නෑ..ඒ වුණත් මංචිට මග ඇරුණු එක දෙයක් නම් එහෙදි  හරියාකාරව සම්පූර්ණ කරගන්න විදිහක් තිබුණෙ නෑ.....


මේ තියෙන්නෙ තැන....
      මංචි දැනුම් තේරුම් තියෙන වයසට ආපු කාලෙ ඉඳලම මංචියි..එයාගෙ පවුලෙ අයයි පාර්ටි දානව වෙනුවට පොඩියට හරි දානමය කටයුත්තක් කරන්නයි පුරුදු වෙලා හිටියෙ..  පන්සලටම විතරක් නෙවෙයි...වැඩිහිටි නිවාසෙකට..ළමා නිවාසෙකට වගේ තැනකට...මගේ 16 වෙනි උපන්දිනේට ඒ විදිහට දානයක් දීපු තැන තමයි නාරාහේන්පිට තියෙන ''ශිල්ප ළමා සංවර්ධන ආයතනය''.


      ඒ ආයතනයේ ඉන්නෙ අනාථ දරුවන්ම නෙවෙයි..ඒ දවස් වල නම් ගොඩක් හිටියෙ යුද්ධය නිසා දෙමාපියන්ගෙන් ඈත් වෙන්න සිදුවුණු දරුවන්..(දැන්නම් ඒ වගේ දරුවො අඩුයි...වාසනාවකට වගේ)..ඊලඟට පවුල් බර දරාගන්න බැරුව දෙමාපියන් විසින් විවිධ අපරාධ වලට යොමු කිරීම හේතුවෙන් සුලු මට්ටමේ වැරදි වලට පෙළඹීම නිසා නීති මාර්ගයෙන් මානසික සංවර්ධනයට යොමු කරන ලද දරුවන් සහ දෙමාපියන්ගෙ අයහපත් කල්ක්‍රියාව නිසා,දරුවන්ට දෙමාපියන්ගෙන් සිදුවුණු අපචාරමය අඩත්තේට්ටම් වගේ දේවල් නිසා..දෙමාපියන්ගෙන් වෙන්කරල තියන්න උසාවි නියෝගයකින් නියම වුණු දරුවනුයි... 


අපි මේ බලන් ඉන්නෙ ඉස්කෝලෙ ගිය කට්ටිය ගෙදර එනකල්... :))
      මංචිගෙ උපන්දින වලට දාන දීපු තැන් වලින් මංචිට ගොඩාක්ම හිතට ඇල්ලුව තැන තමයි මේ ශිල්ප ළමා නිවාසය...    ඒකට හේතුව මෙන්න මේකයි කියල කියන්න නම් මංචිට තේරෙන්නෙ නෑ.ඒත් එතන හරිම ලස්සනට ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරල තිබුණා..සමාජයෙන් පීඩනයට පත් වෙලා මානසික අවපාතයන්ට ලක් වෙලා හිටපු ඒ අහිංසක හිත් වලට අධ්‍යාපනය ලබා දීල..ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න පුලුවන් විදිහෙ හොඳ ශක්තිමත් වැඩපිළිවෙලත් එතන ඇති කරලයි තිබ්බෙ..  


මංචිත් මංචි කියවලා හොඳයි කියල හිතුණු
පොත් පත් කීපයක්ම මේ එකතුවට එකතු කළා
      ඒ වගේම මුලම වතාවෙ මංචිල දානෙ දෙන්න යන දවසෙදි ඒ දරුවො පහුවෙනිද තිබුණු උත්සවේකට සැරසිලි කර කරයි හිටියෙ..වැඩි වියදමක් නැති සරල දේවල් වලින් ඒ දරුවො කරපු නිර්මාණශීලී නිර්මාන සැරසිලි දැක්කම මංචිට හරිම ආස හිතුණා..   ඉතින් දානෙ වැඩ පටන් ගන්න පැය 3-4කට කලින්ම අපි එහෙට ගිහින් හිටපු නිසා..මංචිටත් පුලුවන් වුණා එතන හිටපු අක්කල නංගිලා එක්ක එකතු වෙලා ඒ දේවල් වලට හවුල් වෙන්න..


      ඉතින් ඒ ළමයිනුත් අපි වගේම අහිංසක හීන තියෙන..සුන්දර අනාගතයක් ගැන හීන දකින මල් වගේ කියල අඳුනගන්න මංචිට ඒ සුහදත්වය උදව් වුණා...මංචි එදාම තීරණය කළා ආයෙමත් දවසකත් මේ ළමා නිවාසෙට දානයක් දෙන්න ඕනයි කියලා...අම්මට හොරෙන් මේට්‍රන් එක්ක කතා කරලා...එතන ස්වේචඦාවෙන් වැඩ කරන්න පුලුවන් බවත් මංචිට දැනගන්න පුලුවන් වුනා..  


කට්ටිය ඉක්මනටම මාවත් එයාලගෙ සෙට් එකට දාගත්තා... ;)
      ඉතින් ඔන්න ඒ හීනෙන් බාගයක්ම මේ වතාවෙ සම්පූර්ණ කරගත්තා..ඒ කියන්නෙ දානයක් දෙන කොටස..අනික් අතට මංචි ඒ දවස් වල හිටියෙ හරිම හිතේ දුකිනුයි..  ඉතින් උපන්දිනේ දවසෙදිවත් ඒ වගේ අහිංසක පොඩ්ඩො ටිකක් (පොඩ්ඩො විතරක් නෙවෙයි..එතන අවුරුදු 4 කෙළි පැටවුන්ගෙ ඉඳලා උසස් පෙළ පන්තියෙ ඉගෙන ගන්න ලොකු නංගිලා වෙනකල්ම දරුවො ඉන්නවා) එක්ක ගෙවන්න ලැබුණු එක හිතටත් ලොකු සැනසීමක් වුණා...ඒ වගේම පවුලෙ අය ඇරුණම මංචිගෙ හොඳම යාලුව වින්දිත් මේ වැඩේට එකතු වුණා... 


බතුයි,පරිප්පුයි.ගෝව කොළ මැල්ලුමයි,තක්කාලි සම්බෝලයයි..
වම්බොටු මෝජුවයි,මාලු ඇඹුල්තියලුයි,පපඩනුයි,කට්ලටුයි..ඇති නේද??
      කෑම නම් ලෑස්ති කලේ පොඩි දරුවන්ට වුණත් කන්න ආසා හිතෙන විදිහට පාට පාට ගොඩකිනුයි..සැර අඩුවෙනුයි..ඉස්කෝලෙ ගිහින් කට්ටිය නිවාසෙට එන්න කලින් ඔක්කොම බෙදල ලෑස්ති කරල වහල තිබ්බා...චූටි පිඟන් චූටි අයට...ලොකු පිඟන් ලොකු අයට.....ඒ වගේම වෙජිටේරියන් අයට අයට මස්-මාලු බෙදන්නෙ නෑ...ඒ විදිහට පිළිවෙලට කෑම ටික බෙදන්න අපට ගොඩක් උදව් වුණේ..ඕ ලෙවල්ස් කරල ප්‍රතිඵල එනකල් ඒ දවස් වල ගෙදර හිටපු උදේනි නංගියි..නිසංසලා නංගියි...හොර ලෙඩ අරන් එදා ගෙදර නැවතිලා හිටිය අනික් නංගිලා ටිකයි.. ඔය පහල තියෙන පිංතූරෙ ඉන්නෙ ඒ නංගිල දෙන්නයි..මංචිගෙ අම්මයි...ලොකු අම්මයි.... 


මෙහෙමයි හැමදේම ලෑස්ති කෙරුණෙ...
      කෑම ලෑස්ති වුණාට පස්සෙ අපි ඉස්කෝලෙ ඇරිල අනික් කට්ටිය එනකල් බලාගෙන හිටියා..ඒ අතරෙ නංගිලා මාවයි වින්දිවයි වටේම එක්කගෙන ගිහින් එයාලගෙ පාඩම් කරන තැන්..කාමර..හැමදේම පෙන්නුවා..   හරිම ලස්සනට පිළිවෙලට ඒ තැන් තියාගෙන තිබුණා...


ඔන්න දැන් අපි කන්නයි යන්නෙ...
      එතන හිටපු දරුවන්ගෙන් තුන් දෙනෙක්ම යන්තම් වයස අවුරුදු 4ක් පිරුනු පුංචි දරුවො.. ඒ පොඩ්ඩන්ව දැක්කමනම් මංචිට හරිම දුක හිතුණා...  දෙවියනේ..අම්මගෙයි තාත්තගෙයි උණුසුමේ හැදෙන්න ඕන වයසෙ ඉන්න අහිංසක පැටව් තුන්දෙනෙක්නෙ..අක්කල ටික තමා එයාලව ආදරෙන් බලාගන්නෙ...කවන්නෙ පොවන්නෙ..එතන හිටපු සෙනුරි කියන නංගි මංචිත් එක්ක ගොඩක් යාලු වුණු නිසා..එදා නම් එයාට කැව්වෙ මංචිමයි...බොහොම අමාරුවෙන් තමයි බත් ටික කවාගත්තෙ හැබැයි....


මේ ඉන්නෙ පොඩිම තුන්දෙනා...
      කෑම කාලා කට්ටිය ඔක්කොමල එක්ක කතා කර කර ඉඳල ගොඩක් හවස් වෙලා තමා මංචිලා ආපහු ගෙදර ආවෙ..ඒ දරුවන්ට අහිමි වෙලා තියෙන දේවල් දැක්කම නම් අපට ජීවිතේ අහිමි වෙලා තියෙන්නෙ මොනවද කියල හිතෙනවා....බලන්න මේ පැටවුන්ගෙ හිනාවෙ ලස්සන....මෙච්චර දුකක් හිතේ තියෙද්දිත්...  ඇත්තෙන්ම එදානම් මංචිට හරිම සතුටු දවසක්...කාලයක් තිස්සෙ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් ඉටු වුණු නිසාම විතරක් නෙවෙයි..ඒ නංගිලා අතරින් කීප දෙනෙක්ම මංචිගෙ යාලුවො ගොඩටත් එකතු කරගන්න පුලුවන් වුණු හින්දයි...

      ඉතින් එදා මංචි අර ස්වේඡාවෙන් වැඩ කරන්න තියෙන ක්‍රම සහ විධි ගැනත් වැඩි දුර හොයාගත්තා..ඉස්සරට වඩා දැන් ඒකට ක්‍රමවත් වැඩපිලිවෙලත් තියෙන බව තමා අලුත් මේට්‍රන්ගෙන් දැන්ගන්න ලැබුනෙ...මංචි ලංකාවට ගිය කාලෙක අඩුමගානෙ මාසෙකට හරි ඒ අදහසත් සැබෑවක් කරගන්නවමයි...ආයෙමත් නිවාඩුවට ගියහම එයාලව බලන්න එන්න පොරොන්දු වෙලයි මංචිලා එදා ගෙදර ආවෙ...එමින් ගමන් කැළණියත් වැඳපුදාගෙන එන්න පුලුවන් වුණායින් මංචිගෙ උපන්දිනේ සම්පූර්ණ වුණා කිව්වොත් හරියටම හරි..... 



 ප.ලි. :
      ඔයාලත් ඔයාලගෙ ජීවිතේ වැදගත් දවසක් සමරන්න මේ වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නවනම්...ශිල්ප ළමා සංවර්ධන මධ්‍යස්ථානය හොඳ තැනක් ඇත්තෙන්ම...දානෙ වේලකට සල්ලි වලින් උපකාර කරන්න පුලුවන්කමත් තිබුණ වුණත්..තමන්ම සකස් කරන් යනවනම් ඔයාලගෙ සතුට දෙගුණ වේවී..අනික් අතට නිතරම දෙන කෑම ජාති වලට වඩා පොඩි වෙනසක් එකතු කරගන්න බලන්න...


      උදාහරණයක් විදිහට..ගෝවාකොළ මැල්ලුම මංචි යෝජනා කළේ ඒක මංචිගෙ ප්‍රියතම මැල්ලුම නිසයි... ඒකට එයාලත් ගොඩක් ආස වුණා...මොකද ගොඩක් අය කරන්නේ කෑම වේලකට මුදල් දෙන එකයි..එහෙම වෙලාවට නිවාසෙන් හදල දෙන්නෙ එකම කෑම වට්ටෝරුවක තෝර ගත්ත කෑම කිහිපයකුයි....අපට වුණත් හැමදාම එහෙම කන්න ගියහම එපා වෙනවනෙ නේද...???


      හයිලන්ඩ් කිරි සහ කිරි ආහාර නිශ්පාදන කර්මාන්තශාලාවට යන පාරේ පිහිටල තියෙන...නාරාහේන්පිට පොලිසියට අල්ලපු වත්තෙ තමයි මේ මධ්‍යස්ථානය පිහිටල තියෙන්නෙ...හරියටම කිව්වොත් 45/92,නාවල පාර,නාරාහේන්පිට,කොළඹ 5 කියන ලිපිනයේ...


0115643001
0112501668 කියන දුරකතන අංක වලින් ඕනම විස්තරයක් අහගන්න පුලුවනි...


   ප.ප.ලි : 
      මේ දරුවන්ගෙ ඡායාරූප ගත්තෙ මේට්‍රන්ගෙ අවසරය ඇතුවයි..සමහර දරුවො නම් ඡායාරූප ගන්නවට කැමැත්තක් නෑ..එයාලාගෙ ඉස්කෝලෙ යාලුවන් වත් සමහර වෙලාවට දන්නෙ නැතිලු මේ දරුවො නිවාසෙක ඉඳන් පාසල් එන දරුවො බව..ඒ නිසා තමයි ඒ දරුවන්ගෙ ඦායාරූප අඳුනගන්න අමාරු වෙන විදිහට වෙනස් කරලා තියෙන්නෙ...උඩම පින්තූරෙ ඉන්න දෙන්න නම් ඒකට අකමැත්තක් නෑ කියාපු හින්දයි පින්තූරෙ දැම්මෙ හොඳේ....  


      ඔයාලත් මෙහෙම දරුවො එක්ක ගතපු පින්තූර ප්‍රසිද්ධියෙ පල කරනවනම් කරුණාකරලා එයාලගෙ කැමැත්තකින් තොරව අනන්‍යතාවය හෙළි නොකරන්න වග බලාගන්න.....හොඳද යාලුවනේ.....  



ඉතින් අප සමුගතිමු.............සමුගැන්ම...





     ඩෙවෝන් එකේ ඇතුල් පඩිපෙළ බැස්සෙ කොහොමද කියල සිහියක් නැතත්...එළියෙ පඩි දෙක තුන බැහැගන්න නම් කල්පයක් ගෙවුනා වගෙයි මට දැනුනෙ...හදවතේ එක කොනක් මාව ඉක්මන් කරවද්දි...නුහුරුවට දැනුනු තව කොනක්..මාව ආපස්සට අදිනව වගේ දැනුනෙ ඇයි කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ...රැයක් දවාලක් නැතුව කොළඹ තියෙන රස්නෙ මැද වුණත් මම හිටියෙ සීතල වෙලා..කහ ඉරක් නැති තැනකින් පාර පැනගන්න උත්සහ ගනිද්දි..ඇස් කොනින් මම දැක්කෙ වාහන පේළිය නෙවෙයි..මාව දැකලා මැක් එක ඉස්සරහට ඇවිදගෙන එන චතුරව....

Related Posts Plugin for WordPress, Blogger...