"ඉතින්...කොහොමද ඔයාට...??"
දෙසවනට නුහුරුවට ඇසුනද ඒ කටහඬ කවදත් මගේ හදවතට නම් හුරුපුරුදු ස්වරයකි.... එහෙත් දැන් ඒ හඬ මගෙන් කොතරම් නම් ඈත්ව ගොස්ද... මට සුසුමක් හෙළුනේ ඉබේටමය...
මේ කතාබහ බොහෝ විට කෙළවර විය හැක්කේ අවසනදී තවත් කාලයකට නොසංසිඳෙන දුකක් මා වෙත ශේෂ කරමින් වග හොඳින්ම දන්නා නමුදු..තවමත් ඔහුගේ කටහඬ ඇසීමෙන්ම මගේ හිත සතුටින් පිරී යන්නේ ඇයි... කතා බහින් තොර මුළු කාලය පුරාවටම හිතේ ගොඩනැගෙන හිර කරවන සුළු ගතිය මොහොතකින් නිවී යන්නේ ඇයි.... මෙවන් නොවිසඳුණු ප්‍රශ්නාර්ථ රැසක්ම හදවතේ තිබුණද...ඒවාට පිළිතුරු සොයන්නට ගොස් තවමත් අතරමංව උන්නේ මමමය....
නුහුරු බව අභිබවා පැන නැගුණු අතීතයේ ලෙන්ගතු කමකින් හදවතට උණුසුමක් බඳු හැඟීමක් ගලද්දි මම කටහඬ අවදි කළෙමි...
''වෙනද වගේම ඉන්නව ඉතින්.... ඔයාට කොහොමද... කාලෙකින් නේද...??''
ඔහු මේ කතා කරන්නේ මාසයකටත් පමණ පසුවය... අපේ හදවත් ලිහී ගියේ මීට මාස කිහිපයකටම පෙර වුවද...මා තවමත් එතැනම නැවතී උන්නාක් මෙන් මට දැනිණි... එහෙත් එයින් පසු ඔහු ජීවිතයේ බොහෝ දුර ඇවිද යන්නට ඇත....
බොහෝ කාලයකට පසුව මේ සිටින්නේ ඔහුමද..... මේ සිටින්නේ මමමද....
අද දෙමගක බොහෝ ඈතීන් ඇවිද යන්නේ එදා එකම මගක..එක්ව පියවර නැගූ අපමද..??
අදහාගත නොහැකි මොහොතකදී...දෙමගකට විසි කරදමන ලදද...මේ ජීවිත කාලයේදීම එක්තරා යුගයක ඔහුත් මාත් එක් දිනක් හෝ මග නොහැර දොඩමළු වූ වසන්තයක් තිබිණි...ඒ ජීවිතේ සොඳුරුතම යුගයයි...!!!!
මට වැරදුණේ කොතැනදැයි මා නොදත්තෙමි....පෙම්වතුන් වන්නට පෙරත්..පෙම්වතුන් ලෙසත් මම ඔහුගේ හොඳම මිතුරිය වීමි.... දෙගුරුන්ගේ විරෝධතා හමුවේ හෙම්බත්ව...එහෙත් ආදරය පිළිබඳ විශ්වාසය තබාගෙන....නොවැටී සිටින්නට සටන් වැද සිටි මොහොතක... මිතුදම පෙරමුණෙහි තබා ඔහු මගෙන් කළ ඉල්ලීම..මා කොතෙක් නම් අසරණ අඩියකට පත්කළේ දැයි දැන සිටියේ මාත්...මගේ හදවතත් පමණක්ම විය...එහෙත් මට එයට පිටුපා සිටින්නට නොහැකි විය....
"මට මගේ ජීවිතේ හැම ප්‍රශ්නෙකදිම මට උදව් වුණේ ඔයා...ඒ වගේම මේ ප්‍රශ්නෙදිත් මට උදව් කරන්න පුළුවන් ඔයාට විතරයි.....මට මේ සම්බන්දෙන් ඈත් වෙන්න ඉඩ දෙන්න...''
අවුරුදු ගණනාවක් හැදූ වැඩූ ඉගැන්වූ දෙගුරුන්ට විරුද්ධ වන්නට යැයි ඔහුට කියන්නට තරම් සවියක් මා කෙරේ නොවිණි... තවත් කාලයක් ඉවසාගෙන සිටින්නටද ඔහුට කැමැත්තක් නොතිබිණි... ඉතින් මා ඔහුට බල කරන්නේ කෙසේද...???
''අම්මටයි තාත්තටයි කරදරයක් වෙන්න දීලා මට සතුටින් ඉන්න බෑ ..මට තවත් මේ ප්‍රශ්නෙ හිතේ තියාගෙන ඉඳන් විඳවන්නත් බෑ...''
ඉතින් අපි...අපේම දරුවකු තරම් ආදරෙන් හැදූ වැඩූ ප්‍රේමය එක මොහොතකින් මරාදැමුවෙමු....!!!
මා යළිත් ඔහුගේ හොඳම මිතුරිය බවට පත් වීමි....
''කෝ....මොකද සද්දයක් නැත්තෙ...හෙලෝ..???''
රිසීවරයේ අනෙක් අන්තයෙන් නැඟුණු උස් හඬින් මම යළි පියවි ලෝකයට ඇද වැටුණෙමි...
''ඉන්නව...ඉන්නව....කියන්න මම අහන් ඉන්නෙ''
''මොනවද ඉතින් ඔයාගෙ අලුත් තොරතුරු...??''
'' මම නම් හිටපු විදිහම තමා...මොනාද ඔයාගෙ විස්තර...''
''ම්ම්ම්.. එහෙමද......මටත් අලුත් කියල දෙයක් නම් නෑ... ඒත් පොඩි විස්තරයක් නම් තියෙනවා.... '' ඔහු කීවේ දිගු කතාවක් පටන් ගන්නා ස්වරයකිනි...
ඔහු මේ කියන්නට යන්නේ පසුගිය දිනක ඔහු මා සමග විස්තර කරන ලද යුවතිය පිළිබඳවද...??
මගේ හදවතේ සියුම් වේදනාවක් පැතිර යනු මට දැනිණි... මාසයකට පමණ පෙර ඔහු මට පැවසූයේ ඔහුගේ කාර්යාලයේ සේවය කරන එක්තරා යුවතියක් ඔහු ගැන කැමැත්තෙන් සිටින බවය... දෙනෙතෙහි අඳුරු පටලයක් එකතුවද්දී... මම කිසිත් නොකියාම සිටියෙමි....
මා ආත්මාර්ථකාමී නොවිය යුතුයැයි මගේම හිතට තරයේ කියාගතිමි... බිඳීගිය ප්‍රේමයක් වෙනුවෙන් මා ලතැවුනු පලියට..ඔහුට ඔහුගේ ජීවිතය සාදාගැනීමට ඇති අයිතිය මට උදුරාගත හැකිද...??? ඉතින් මා නිහඬවම සිටියෙමි...
දැන් මේ ඔහු කියන්නට යන්නේ ඈ ගැනද..??
''ඔයා මේ කියන්න යන්නෙ අර එදා කිව්ව ගර්ල් ගැනද...??''
''හ්ම්ම්...කොහොමද දැනගත්තෙ...''
එක්තරා කලකදී ඔහුගේ හුස්මක වෙනස පවා මා හඳුනාගත් වග ඔහුට අමතකව ගොස් ඇතුවා විය යුතුය...එක අතකට ඔහු ඒවා මතකයේ දරාසිටින්නේත් කුමටද...
''නිකමට හිතුණා...''
''මම කලින් නොකිව්වට අපි දෙන්නා අතරෙ අෆෙයාර් එකක් තියෙනව....'' ඔහු කීවේ මන්ද ස්වරයෙනි....
අනපේක්ෂිතව නැඟෙන්නට ආ ඉකිබිඳුමක් මම ආයාසයෙන් යටපත් කරගතිමි... මගෙන් එය සඟවන්නට තරම් ඔහුට තිබූ වුවමනාව කුමක්ද...??
''කලින් නොකියන්න ඇත්තෙ මොකක් හරි හොඳ හේතුවක් හින්දනෙ ...ඇයි එහෙනම් දැන් කියන්න හිතුවෙ..''
''කලින් නොකිය හිටියෙ ඔයාට දුක හිතෙයි කියලා.... අනිත් එක ඔයා මොනව කියයිද කියල බලන්න...''
ඇයි දැන් කිව්වොත් දුක හිතෙන්නේ නැත්දැයි ඇසීමට සිත් වුවද..මම මුවින් ගොලුව උන්නෙමි....අනික් අතට මා ඒ ගැන කුමන අදහසක් දැරුවත් ඉන් ඇති වන වෙනස කුමක්ද....??
''එතකොට දැන් කියන්නෙ..??'' යැයි අසද්දී මගේ හඬ දුබලව යන්නට ඇත...
''ඔයා මගේ හොඳම යාළුවනෙ... ඒ නිසා...''
''හ්ම්ම්ම්....''
මොට පිහියකින් හදවත පසාරු කොට පටකයෙන් පටකය කපා දමන්නාක් මෙන් ඔහු මේ වේදනාත්මක කතාන්දරය කියන්නට මේ තරම් වේලා ගන්නේ ඇයි...
''මයි කන්ග්‍රෑට්ස්....'' මම වෑයමෙන් හසුරුවාගත් හඬින් ඔහුට සුබ පැතුවෙමි...
''තෑන්ක්ස්....''
''ඉතින්.... ඔයා ගෙදරට කිව්වද..??'' මම සිහින් හඬින් ඇසුවෙමි...
ඔහුගේ පැරණි පෙම්වතිය ලෙස එය මා විසින් ඇසිය යුතු පැනයක්දැයි මා නිසැකයෙන්ම දැන නොසිටියද...මිතුරියක වශයෙන් පෙර වැටුණු වේදනාවෙහිම ඔහු යළිත් වැටෙන්නට ඉඩ නොදීම මාගේ යුතුකමකැයි මම සිතුවෙමි....
''හ්ම්ම්..... කිව්වා''
මෙවර ඔහු දෙමාපියන් පතන ආකාරයේ සහකාරියක් සොයාගත්තා විය යුතුය....
දෙනෙත ඉදිරියේ පැන නැඟෙන බිඳුණු හීන වල හොල්මන් නුදුටුවා සේ හිදින්නට ඉටාගනිමින් දෑස වසා ගත්තද..මට මගෙම හදවතින් පැන යන්නට මදකුදු ඉඩහසරක් ලැබුණේම නැත...
දෙවියනේ... මේව අහන්න නොවී මම මැරිලා ගියානම්....!! මගේ හදවත කෑ මොර දෙන්නට වුයේ මටවත් පාලනය කරගත් නොහැකි වේගයකිනි... එහෙත් ඒ හඬ ඔහුට ඇසුණා නොවේ...
දරුණූ ආත්මානුකම්පාවකින් හදවත වෙලී ගියද...අඩුතරමින් ඔහුගේ අනාගතය ගැන අවංකවම සතුටු වන්නට හැකි වීමෙන් මම මදකට සැනසුණෙමි...
''එහෙම නම් ඉතින් අවුලක් නෑනේ... අපට වෙඩිං කේක් කන්න ලැබෙයි එහෙනම් ළඟදිම...'' හැකි තරමක් දුරට තාත්විකව සාමාන්‍ය මිතුරියක වන්නට උත්සහ දරමින් මම පැවසුවෙමි...
ඊළඟ මොහොතේ ඔහු කටහඬ අවදි කරනු මට ඇසුණේ සිහිනයකින් මෙනි....
''අවුලක් නැත්තෙත් නෑ...... එයාටත් අපේ ගෙදරින් කැමති නෑ...''
''ඕහ්හ්..........සොරි.........'' කුමක් සිතන්නටදැයි මට හිතාගත නොහැකි විය... මා දුක් විය යුතුද...නැතිනම් සතුටු විය යුතුද...??
එහෙත් මොහොතකින් ඔහුගේ හඬේ ඇති වේදනාව මට දැනිණි..... අප වෙන්ව ගිය බව ඇත්තය.. එහෙත් තවමත් මා ඔහුට ආදරය නොකරන්නෙම්ද..?? එහෙත් ඔහු දැන් මේ දුක් වන්නේ අන් කෙනෙකුගේ ප්‍රේමය වෙනුවෙනි...!!! එය දැන දැනම ඔහු වේදනාවෙන් සිටිනු දැක්ම අදටද මට නොරිසි වන්නේ ඇයි....???
මටද දැනුණේ තියුණු වේදනාවකි... ඒ ඔහු වෙනුවෙන්ද...නැතිනම් මා වෙනුවෙන්ම දැයි හරියාකාරව නොදැන උන්නද ඔහුගේ සිත හැදිය යුතුයැයි මගේ හිත මට කීවේය..
''දුක් වෙන්න එපා...හැමදේම හරියාවි....''
මා එසේ කීවද...හැමදේම හරි යනු ඇතිද..?? අප දෙදෙනා වෙන් වන තුරුම නොසැලුණු ඔහුගේ අම්මාත් අප්පච්චීත් මෙතැනදී ලිහිලක් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද....
අම්මා මෙවරද බෙහෙත් හේත් ප්‍රතික්ෂේප කරමින් ඔහු අසරණ කරනු ඇත..අප්පච්චීද යළි අසනීප වනු ඇතැයිද ඔවුන්ගේ ජීවිතයට කරදරයක් වෙතැයි ඔහුට බියවන්නට සිදුවනු ඇත.... මගේ මතකය ඇදී ගියේ ඒ අමිහිරිතම සති කිහිපයටය....
දෙනෙත හා සරිව රැක බලාගත් ආදරය මරා දමන්නට සිදු වූයේ මගේ අම්මාත් තාත්තාත් වැනිම වූ දෙමාපියන් දෙදෙනෙකු වෙනුවෙනි.....ඔවුන් වෙත වරදක් කීමට මගෙ හිත නොනැමුණේ එනිසාද..?? ...ඒ ඔහු හැදූ වැඩූ දෙමාපියන්ය.... ඔවුන් සිතන්නේ තම ලෙයින් මසින් බිහිකළ දරුවා ගැන මිස... කොහෙන්වත් පැමිණි කෙල්ලකගේ ප්‍රේමය ගැන නොවේ... එහෙත් මා අද වේදනා විඳින්නේද කාගේ වරදකටද..??
''ඔයා මගෙ හිත හදන්න එහෙම කිව්වට හොඳටම දන්නවනෙ.... එයාලා කැමති වෙන්නෙ නෑ...'' ඔහු පැවසූයේ මා මින් පෙර අසා නොතිබු දැඩි ස්වරයකිනි...
''හ්ම්ම්ම්...... එහෙම වුණොත්...අනේ මන්දා... එහෙම වුණොත් මොකද කරන්නෙ.....?? ''
''එහෙම වුණොත් වෙන මොනව කරන්නද....''
''ඒ කියන්නෙ ඔයා සම්බන්ධෙ නවත්තනවද...?? ''
මොහොතක නිහැඬියාවක් ගෙවී ගියේ කල්පයක දිගු බවක් මසිතට අඟවමිනි..
''නෑ....... ගෙදර අය මොනව කිව්වත් මට කමක් නෑ...... ''
''ඒ කියන්නෙ...''
''එයාල මොනව කිව්වත්....මම එයාව මැරි කරනවා....''
පුදුමයකට මෙන් නෙතට කඳුළකුදු උනනු තබා මට සියුම් වේදනාවක් හෝ නොදැනිණ... ඒ වෙනුවට කලක් තිස්සේ හදවතේ පැලපදියම්ව තිබූ කුමක්දෝ හැඟුමක් එක්වරම මැකී ගොස්....මහ අමුතුම හිස් කමකින් පිරුණාක් මෙන් මට දැනිණ....
එහෙත් මම
කිසිත් නොකියා නිහඬවම සිටියෙමි...!!!
෴මංචි෴
:-(
ReplyDeleteදුක හිතුනා..
ෆෝන් නම්බර් එක ලැබුනද?ආව වෙලාවක කතා කරන්න
කමලිකා අක්කා
අක්කී..මේ දවස් වල ලංකාවෙ මම.. ඔයාගෙ නම්බර් එක නම් ලැබුණේ නෑ.. මකුලු පැංචි මේල් එකට හරි එවනවද??? makulupanchi@gmail.com
Delete:( ඇයි ඒ තීරණේ එයාට කලින් ගන්න බැරිවුණේ?
ReplyDeleteසමහර ප්‍රශ්න වලට උත්තර නෑනෙ චරිත්.. :)
Deleteමේ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා... මං නං හරිම විරුද්ධයි ඔය අම්මලගේ ගොන් වැඩ වලට.. බඳින එකා ඌ කැමති එකාව බඳින්නේ නැතුව අම්මා කැමති එකෙක් බැන්ඳම හරි යනවයි... හොඳ වෙලාවට අපේ අම්මලා ඔය වගේ කියන්න ආවේ නෑ... එයාල වැදගත් විදියට මට තේරුම් කරලා දුන්න මොකද්ද අවුල කියලා.. එතකොට මට පුළුවන් උනා ඒ අවුල හරිගස්සන පුළුවන් කියලා එයාලට තේරුම් කරලා දෙන්න.. එතනින් එහාට එයාලා විරුද්ධ උනේ නෑ.. ඔය විදියට බ්ලැක්මේල් කරන්න ආවනං මං අම්මලට බම්බු ගහගන්න කියනවා...
ReplyDeleteහැබැයි මගේ අත්දැකීමේ හැටියට කෙල්ලෝ ඔය සම්බන්ධයෙන් හරි කෙලින් හිටියට කොල්ලෝ අම්බානක වැනෙනවා.. එයාලට රුවුලත් ඕනේ කැඳත් ඕනේ... එකක්වත් කැපකරන්න හිත හදාගන්න බෑ.... ගොඩක් වෙලාවට හොඳම යාලුවා හරි යෙහෙලිය හරි තමයි කසාද බඳිනවා නම් හොදටම ගැලපෙන්නේ.. ඒකත් මගේ අත්දැකීම....
එක එක මිනිස්සු හිතන්නෙ එක එක විදිහටනෙ හිරු..බොහොමත්ම ස්තූතියි අපේ දිහා ආවට.. :)
Deleteසමහර විට කොල්ලට තීරණයක් ගන්න ඇති ඇති දෙවන සැරෙත් මුල් දේම වෙන්නට හරිනවාද නැද්ද කියලා. ඒ ගැන ඔහුට වරදක් කියන්න බෑ. ඒත් දෙවනි එක නවතලා ආයෙ නැවතිච්ච පලමු එක පටන්ගන්නවාද කියන අභියෝගය හමුවේ නම් ඔහු අසරණ වෙන්නට ඇති...
ReplyDeleteඑහෙම අභියෝගයකට ඔහුට මූණ දෙන්න වුණේම නෑ තොටියෝ...වාසනාවකට.. :D
Deleteමුළු කතාවෙම මට දැනුනු සංවේදි තැන “ පුදුමයකට මෙන් නෙතට කඳුළකුදු උනනු තබා මට සියුම් වේදනාවක් හෝ නොදැනිණ“ ,
ReplyDeleteකෙසේ වෙතත් , මේ කතාව දිගේ මම අවුරුදු විස්සක් විතර ඈතට ගියා වගේ දැනෙනවා ,
සතුටුයි මංචිගේ මකුළු දැල කළකින් ලියවෙනවා දැකීමම .
ස්තුතියි පැංචියේ .
ඔව්නෙ...බොහොම කාලෙකින් ලියැවුණේ...දැන් ෆයිනල් ඉයර් එකට කිට්ටු වේගෙන එන නිසා වැඩ වැඩීයි... :(
Deleteගිය එකා ගැන ආයෙ මොකට වද වෙනවද?
ReplyDeletematath mekama hithuna...eth ithin mehema deyak wechcha kenamane amaruwa danne
Deleteඒකනේන්නම්...
Deletekalekata passe neda makulichchi :) kathawanam hondata danennama liyala thiyanawa.
ReplyDeleteඔව් සයුරි අක්කේ... මෙහෙම හරි එන්න ලැබෙන්නෙ ගෙදර ඇවිත් ඉන්න නිසා තමා.. තැන්කූ අදහසටත් හොඳේ.. :)
Deleteමගෙත් අත්දැකීම ඔය හා සමානයි. ඒ හින්දා බොක්කටම වැදුනා. හිරු හරි. දෙමව්පියෝ තේරුම් ගන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුටෙදි හරස් වෙනවට වඩා වැරැද්දක් ඇත්නම් ඒක පෙන්නලා දීලා තීරණය ගන්න එයාලටම ඉඩ හැරිය යුතුබව. මාත් එකෙන්ම විරුද්ධයි දෙමව්පියෝ වුවමනාවට වඩැ ඇඟිලි ගහනවට මේ හා සම්බන්ධ කාරණාවලදි. පට්ටම පට්ටයි. මගෙත් එක්ක ලඟින්ම යන කතාවක්. ඒ වුනාට දැන් මේ වෙනකොට එයා මාස තුන හතරක් වෙලත් මා එක්ක කතා කරේ නෑ. ඕනෙත් නෑ ඒකත්. කට හඬ අහන්න ඕනෙ වුනාට ආයෙත් බොහොම අමාරුවෙන් හදාගත්ත හිත එකෙන්ම රිද්දෙන එකයි, ඒකෙන් වෙන්නේ තවත් සති ගාණකට ආයෙත් තුවාලෙ රිදෙන එක....බොහොම අපූරුයි මකුලු පැංචිගේ වියමන...
ReplyDeleteරතී කිව්ව එකමයි මාත් හිතුවෙ... මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා කියල.. කතාකරද්දි සතුටු වුණාට අවසානෙදි ඉතුරු වෙන්නෙ දුකනෙ... :(
Deleteමට මේ බ්ලොග් එකට එන හැම පාරම මතක් වෙන්නේ ස්පයිඩර් මෑන් ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මං ස්පයිඩර් මෑන් නෙවෙයි අයියෝ...ස්පයිඩර් වුමන්... හික්ස්,... :D
Deleteතැන්කූ තැන්කූ...ඔයාටත් එසේම වේවා.. :)
පපුවටම වදින කතාවක්.........
ReplyDeleteහරිම අපූරුවට ගලාගෙන යනව කිසිම හැල හැප්පීමක් නැතුව....
මගේ සුබ පැතුම් හෝ මගේ කණගාටුව....ගැලපෙන එකක් බාරගන්න...සමහරවිට දෙකම..:)
ඔයාගෙ කොමෙන්ට් එක නැතුව පාලුවට ගිහින් තිබ්බෙ..හෙහ් හෙහ්.හොන්න දෙකම බාරගත්තෝ...වැඩි වෙන් නෑනෙ... :D
Deleteඇයි ඒ තිරණේ කලින් ගන්න බැරි වුනේ?
ReplyDeleteකියන්න දෙවල් ගොඩක් තිබුනත් දැන් මම ඉන්න මුඩ් එක හරි නැ පැංචියෝ. මම යනවා. :)
හිතට දැනෙන කතාවක්
ReplyDeleteහ්ම්, කතාව ලස්සනයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletelassani akkiyoooo
ReplyDelete