ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ඔලුව හැරුණු අත...




      හැමදේම පටන් ගත්තෙ එකෝමත් එක දවසක හවස් වරුවෙ.. එළියට බැහැලා කොහේ හරිම යන්නම කියලා මගේ ඔළුව අතොරක් නැතුව කංකෙඳිරිගාන්න ගත්තා..වෙන කෙනෙක්ගෙ බල කිරීමක් වගේ නෙවෙයි තමන්ගෙම කොටසක්..දෙයක් කරන්න කියලා බලකරන්න ගත්තහම...ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි ගොඩාක් හිත හයිය කෙනෙක් නෙවෙයිනම්...

      මේ කියන දවස් වල මගෙ හිතත් ගොඩක් හයියට තිබුණෙ නැතුව ඇති...කොහොමටත් මම වැඩිය හිත හයිය කෙනෙක් නෙවෙයිද කොහෙදෝ...ඉතින් දෙපාරක් නොහිතා එළියට බහිනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ...

      හිම වැටෙන කාලයක් වුණත් මම හිම කබාය ඇඳගන්නකල් වත් ඉවසගෙන ඉන්න ඔළුවට පුළුවන් වුණේ නෑ..ඉතින් ඔන්නොහේ කමක් නෑ කියලා අපි ගමන පටන් ගත්තා...

      අපි කිව්වමයි මතක් වුණේ...මාත් එක්ක තවත් කවුදෝ ඇවිත් හිටියා..හුරු පුරුදු අඳුනන ගතියක් දැනුණ වුණත් මම වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ..

      නිකං මොකට මහන්සි වෙනවද..එනවනම් ඔහේ ආපුවාවෙ...මට මොකෝ....මං එහෙම හිතුවා..

ඒත් ටික දුරක් යද්දි මගේ ගමන් සගයා මට කතාකළා... '' අපි මේ කොහෙද යන්නෙ...??'' එයා ඇහුවා..

      ''ඔළුව හැරුණු අතකට...'' මම උත්තර දුන්නා.. '' හ්ම්ම්...හරි එහෙනම්...යමු..'' එයා කිව්වා...

      ඉතින් අපි දිගටම ගියා..ගොඩාක් හිම වැටෙන වෙලාවට වුණත් අපි නතර වුණේ නෑ...මට සීතලක් දැනුනෙත් නෑ හැබැයි..අපි යන අතරමගගොඩාක් අය මුණගැහුනා..එයාලගේ ඒ හැටි විශේෂයක් පෙනුණෙ නෑ..කවුරුත් කතා කළෙත් නෑ..අපි කතා කරන්න උත්සහ කළෙත් නෑ..

      ටික කාලයක් යද්දි කවුදෝ දෙන්නෙක් අපට නිතරම දකින්න ලැබෙන බව මම දැක්කා... ගෑනු ළමයෙකුයි...පිරිමි ළමයෙකුයි...වෙන අය වගෙ නෙවෙයි මේ දෙන්නා යන්නෙත් අපි දෙන්නා යන පාරෙමයි කියල හිතෙන තරමට අපට එයාලව මුණ ගැහුණා...හැබැයි එයාල අපි එක්කවත්..අපි එයාල එක්කවත් එක්ක කවදාවත් කතා කළේ නෑ..එයාලට අපිව පෙනුණෙත් නැද්ද මන්දා...එයාල හිටියෙ එයාලගෙම ලෝකෙක...

      තවමත් ඔළුව හැරෙන හැරෙන අතට ගියා වුණත් දැන් දැන් මම ඒ ගෑනු ළමයයි පිරිමි ළමයයි දිහා විශේෂයෙන් බලන්න පටන් ගත්තා.. ඒදෙන්නටත් හිම වැටෙන එක...සීතල...ගාණක් නෑ වගේ...එයාල එකිනෙකාට කිට්ටුවෙන් ඇවිදගෙන ගියා වුණත් අතින් අත අල්ලගෙන හිටියෙ නෑ..දකින හැම වෙලාවකම වගෙ එයාල හිටියෙ එකිනෙකා සමග කතා කරමින්..දෙන්නෙක්ට මොනවද ඔය හැටි කතා කරන්න තියෙන්නෙ හැබෑට..... !!! 

      කතා නොකරන පුංචි වෙලාවක් හරි තිබ්බොත් ඒ දෙන්නා කළේ තරඟෙට වගේ ඇස් පිල්ලම් නොගහා එකිනෙකා දිහා අමුතු බැල්මකින් බලාගෙන හිටිපු එක... ඒ වගේ වෙලාවන් කීපයකදිම මුලින්ම ඇස් පිල්ලම් ගැහුවෙ පිරිමි ළමයා..එහෙම වෙලාවට දිනපු නිසා සතුටට වගේ ගෑනු ළමය හයියෙන් හිනා වුණා වුණත් එයාගෙ ඇස් දෙකේ යාන්තමට වගේ දුකක් ඇති වෙලා නැති වෙලා ගියා..ඒක කෙනෙක්ට දකින්න තරම් වෙලාවක් නොතිබුණා වුණත් මේ වෙද්දි මම ඒ දෙන්නා දිහා හරිම උනන්දුවෙන් බලන්න පුරුදු වෙලා හිටිය නිසා මම ඒ බව පැහැදිලිවම දැක්කා...

      දැන් එන්න එන්න ලෝකය උණුසුම් වෙන්න පටන් අරගෙන...හිම තට්ටු උඩ සපත්තු වලින් හදපු කැත දුඹුරුපාට පැල්ලම් මැකිල යන තරම්වත් හිම පතනයක් වුණේ කලාතුරකින්.. එහෙම හිම රවුමක් වැටිලා ආපහු හැම තැනම සුදුවට ලස්සනට පේන්න ගත්ත දවසක මට අර ගෑනු ළමයවයි පිරිමි ළමයවයි ආයෙමත් මුණ ගැහුණා...

      අපි හමු නොවුණු ටික දවසට මොකද්දෝ වෙනසක් වෙලා...ලොකුවටම පේන්න තිබුණු වෙනස තමා ඒ දෙන්නා කවදාවත් නැතුව අත් අල්ලගෙන හිටපු එක..ඒ ඇරුණම දෙන්නගෙම මූණු සතුටින් පිරිලා තිබුණා..ගෑනු ළමයගෙ කම්මුල් රතු වෙලා..ඇස් දෙක වෙනදටත් වඩා ලස්සනට දිලිහි දිලිහි තිබුණා.. මටත් මොකද්දෝ ලොකු සතුටක් දැනුණා..

      අපි හිස හැරුණු අත යන එකනම් නතර කළේම නෑ... 

      දැන් දැන් අපට ඒ ගෑනූ ළමයවයි පිරිමි ළමයවයි මග ඇරුණෙම නැති තරම්... ඒ දෙන්නා නිතරම හිනා වෙවී කතා කර කර සතුටින් හිටියා..හැමදාම අළුත් දවසක් පටන්ගනිද්දි පිරිමි ළමයා ගෑනූ ළමයගෙ නළලට සීරුවට හාද්දක් දුන්නා..

      පරිසරයටත් අලුත් වෙනසක් වෙමින් තිබ්බා..හරියට මේ දෙන්නගෙ සතුට කාන්දු වෙලා වගේ..ගස් වල අතුරිකිලි කොළ පාට වෙලා පුංචි පුංචි අංකුර එළියට එබෙන්න පටන් ගත්තා..හැංගිලා හිටපු ඉරත් මූණ සෝදගෙන ඇවිත් දවසෙ වැඩි හරියක් හිනා වෙවී ඉන්න පුරුදු වුණා..කුරුල්ලොත් කම්මැලිනැතුව සිංදු කියන්න පටන් ගත්තා..

      ඒ විතරක් නෙවෙයි... ගොඩාක් වෙලාවට වලාකුළුත් ඇවිදින් හැමෝවම තෙමෙන්න වහින්නත් පටන්ගත්තා..එහෙම වෙලාවට අර පිරිමි ළමයා ගෑනු ළමයව තුරුල් කරගෙන ආරක්ෂා කරගත්තා නොතෙමෙන විදිහට...ගෑනු ළමයව චුට්ටක්වත් නොතෙමෙන්න ආරක්ෂා කරගන්න පුළුවන් වුණු දවසට අහසෙ ලස්සනට දේදුන්නකුත් පෑව්වා...

      මේ වෙද්දි අපටත් අනික් හැමදෙයක්ම නොපෙනී ගිහිල්ලයි තිබ්බෙ..වටපිටාවෙ අපිව පහුකරන් ගිය අය ගැන අපට හාංකවිසියක්වත් මතකයක් තිබ්බෙ නෑ..ඔළුවත් දැන් දැන් හැරුණෙම අර ගෑනු ළමයයි පිරිමි ළමයයි යන දිහාවටමයි..එහෙමත් නැත්තම් ඒ දෙන්නත් ආවෙ අපි යන දිහාවටමයි...

      සීතල බිංදුවක්වත් නැති වෙන තරමට උණුහුම් වෙලා මල් පිපෙන්න පටන් ගත්තා...මේ වෙනකොට ඉර හරිම රස්නෙයි..පිරිමි ළමයා නිතරම තමන්ගෙ හෙවණැල්ල යටිනුයි ගෑනු ළමයව එක්කරගෙන ගියේ..දවසින් දවසම ගෑනු ළමයගෙ ඇස් දෙකේ ප්‍රභාව වැඩි වුණත්..මේ ළඟකදි ඉඳන් පිරිමි ළමය වෙනද වගේ වැඩි හිනාවක් නෑ වගේ කියල මට හිතුණා..ගෑනු ළමයා බලන වෙලාවට හිනා වෙලා ඔළුව වැනුවා වුණත් අනික් ගොඩක් වෙලාවට එයා හිටියෙ ලොකු කල්පනාවක...

      දවසක් දා උදේක හැමදාම දෙන හාදුව දෙන්නත් එයාට අමතක වුණා...එදානම් ගෑනු ළමයගෙ මූණත් මැලවිලා තිබුණා.. අර ඉස්සරම දවසක වගේ තුනී කඳුළු පටලයක් ඇස් වල එකතු වෙලා තිබ්බා..ගොඩක් කාලයක් තිස්සෙ ඒ විදිහට එයාව නොදැකපු හින්ද අමුත්තක් දැනුණ වුණත්..මට මෙච්චර කාලෙකට නොදැනුණු හුරු පුරුදු ගතියක් දැනෙන්න ගත්තෙ ඇයි මන්දා...

       ආපහු පොඩ්ඩ පොඩ්ඩ සීතල වෙන්න පටන් අරගෙන... ගස් වල කොළ කහ පාට රතු පාට වුණා මදිවට වැටෙන්නට පටන් අරගෙන තිබුණා..මල් පිපිල්ලත් සෑහෙන අඩු වෙලා ගිහින් තිබුණා...
එක දවසක් උදේම අපි ආපහු ගමන පටන් ගන්න ලෑස්ති වුණා..කලින් දවසෙ විවේක ගන්න නතර වෙලා තිබුණෙ දෙමංසලකට කිට්ටුවෙන් බව අපි දැක්කෙ දැනුයි..

       ගෑනු ළමයයි පිරිමි ළමයයි කලින්ම ගමන පටන් අරන් තිබුණා...අපිත් හෙමි හෙමීට ඒ දිහාවට ගියා..යන්න ඕන දිහාවට ඔළුව ඉබේටම හැරෙන නිසා දෙමංසල ගැන හිත කලබල කරගන්න වුවමනාවක් තිබ්බෙම නෑ අපට...ඒත් දෙමංසලට කිට්ටු වෙද්දි තමයි අපි දැක්කෙ වෙනදා නුදුටු දෙයක්.... 

       ගෑනු ළමයගෙ ඇස් දෙක රතු වෙලා කම්මුල් දිගේ කඳුළු ගලමින් තිබුණා..පිරිමි ළමයාගෙ ඇස් දෙකේ තිබුණෙ කවදාවත් නැති විදිහෙ හිස්කමක්... දෙමංසලෙන් ගෑනු ළමයා හිටගෙන හිටියෙ වම් පැත්තට හැරෙන පාරේ පටන් ගැන්ම ළඟම...ඒත් පිරිමි ළමයට ඕන වුණේ දකුණු පැත්තට හැරෙන්න..බැලූ බැල්මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වගෙ තමයි පෙනුණෙ..පුංචි ප්‍රශ්නෙකට තිබුණෙ දකුණු පැත්තෙ පාර ගාව ගහල තිබුණු පුවරුවේ තිබ්බ වචන කීපයකුයි....

       ''ඇතුල්වීම එක් අයෙකුට පමණයි''

වමට හැරෙමු කියලා ගෑනු ළමය මොන තරම් කන්නලව් කළත් පිරිමි ළමය වුවමනාවෙන්ම එවා නෑහුණා වගේ හිටිය කියලයි අපට හිතුණෙ... අන්තිමේදී එයා ගෑනු ළමයගෙ අත අතඇරලා දකුණු පැත්තෙ පාර දිගේ යන්න පටන් ගත්තා...පොඩ්ඩක්වත් හැරිලවත් බලන්නවත් එයා නතර වුණේ නෑ...

       පිරිමි ළමයා නොපෙනී යනකල්ම... ගෑනු ළමයයි..අපියි බලාගෙන හිටියා.. අන්තිමේදි එයා නොපෙනී ගියාම මම ආපහු ගමන පටන් ගන්නයි ලෑස්ති වුණේ.. කාලෙකට පස්සෙ මගේ ගමන් සගයා මට කතාකළේ එතකොටයි...

      ''දැන් අර ගෑනු ළමයව නොදැක්ක වගේ යනවද..??''

       මෙච්චර කාලෙකට මම වැඩිය ගණන් නොගත්තා වුණත්..මේ යකා කියන දේත් සාධාරණයි කියල මට ඒ සැරේනම් හිතුණා...

      ඉතින් මම ඒ ගෑනු ළමය හිටගෙන හිටපු තැනට ලං වුණා...ඒ වතාවෙ නම් මට ඇත්තටම පුදුම හිතුණා..එතන හිටගෙන හිටිය ගෑනු ළමය මම වගේමයි....මම වගේම තව කෙනෙක්...??..එක්කො ඒ මමම වත්ද???..... මට වැඩිය හිත හිත ඉන්න ලැබුණෙ නෑ... එයා ඔළුව උස්සලා මගේ දිහා බැලුවා.... හරිම දුක්බර විදිහට...

      ''දැන් කොහෙද ඔයා යන්නෙ..??'' මම ඇහුවා.... 

      එයා ඇස්පිල්ලම් නොගහ මොහොතක් බලාගෙන හිටියා...එහෙම ඉඳලා කතාකළා..

      ''ඔළුව හැරුණු අතකට...''

      ''හ්ම්ම්....හරි...එහෙනම් යමු...'' මම උත්තර දුන්නා.......






෴මංචි෴




පසුව ලියමි....
( කවුරුහරි කෙනෙක් මේ කතාව අන්තර්ජාලයේ අහම්බෙන් වගේ දැකල කියවලා තියෙන්න පුංචි ඉඩක් තියෙනවා..හැබැයි මංචි මේක වෙන කාගෙන්වත් කොපි කළා එහෙම නෙවෙයි හොඳඳ...ඒ අනික් පෝස්ට් එකේ අයිතිකාරිත් වෙන කවුරුත් නෙමෙයි..මංචිම තමයි...හොඳේ..?? )


42 comments:

  1. m m m m මොනවා කියනන්ද කියලා හිතා ගන්න බෑ වගේ නගේ

    ReplyDelete
    Replies
    1. මොනවත්ම නොකිව්වත් කමක් නෑ............අයියා කියෝපු එකම ලොකු හයියක් අයියේ... :))

      Delete
    2. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ......... එහෙමද ? @ බිම බලාගෙන

      Delete
  2. මම දැන් තුන් පාරක්ම ලියන්න ගිය දේවල් ආයෙත් මැකුව..මේ නම් අන්තිම පාර ;-)
    වචන දෙකකින් තුනකින් කිව්වොත් මේක මරු!
    හැම විනාඩි පහකදිම අපේ ආත්ම එක එක කෙනාට මාරු වෙනව කියල කතාවක් මීට කලින් මම පොතක දැක්ක.මේකත් ඒ වගේ වෙයිද කියල මුලදි හිතුවත් අන්තිමේ වෙනස්.ඒකයි අර උඩ මරු එකට හේතුව! ;-)
    මම කලින් දවසක කිව්ව වගේම ඔයාගෙ කතා කියවද්දි මටත් මොනව මීට සමාන දෙයක් ඔලුවට ඇවිත් නැතිවෙලා යනව.කොහොම උනත් නියම අදහසක්...
    ජයවේවා අක්ක ! :-)

    ReplyDelete
    Replies
    1. තන්කූ ගොඩාරියක් මල්ලියෝ....

      හිත් ඉබාගාතේ යද්දි අපිවත් දන්නෙ නෑ කොහෙ යනවද කියල..සමහරක් විට අපි හරී ලස්සන හයිවේ එකක යද්දි හිතෙනවා දැන් අපි මේ යන්නෙ නියමිත් අරමුණට නේද කියලා..ඒත් අන්තිමේදි බලද්දි ඒ ඇවිත් තියෙන්නෙත් ඉබාගාතේ නේද කියලත් හිතෙනවා වෙලාවකට... :(

      Delete
  3. මංචිට එක පාරට මොකද උනේ..
    සමහරක් විට ඉස්සරට යද්දි ඔය පාරවල් දෙක ආයෙමත් දවසක එකතු වෙන්නත් පුළුවං. අර ගෑණු ළමයට ඒ ගැන ‍පොඩිත්තක් දන්වන්න..

    ReplyDelete
    Replies
    1. එක පාරට මොකුත් වුනේ නෑ රස්තියාදුකාරයෝ... :)

      අතුරු කතාවක් කියන්නද...
      ටික දවසක් ගියාට පස්සෙ ඒ පාරවල් දෙක කැරලිලා ඇවිත් ආපහු රේල් පාරකට එකතු වුණා..දැන් ඒ ගෑනු ළමයයි පිරිමි ළමයයි හරියට රේල් පීලි 2ක් වගේ...ආයෙ කවදාවත්ම එකතු වෙන්නෙ නැති..ඒත් ඈත් වෙලා යන්නත් බැරි...

      Delete
  4. මංචි කතාවේ දිග.... එත් අපි කියෙවුවා. මමනන් කතාවට කැමති මංචියෝ.

    ReplyDelete
    Replies
    1. හැබෑට එච්චරටම දිගද..?? :O
      කමක් නෑ කැමතිනම් එච්චරයි... :D තැන්කූ...

      Delete
  5. කථාව නම් මරු මංචි අක්කියෝ...

    ReplyDelete
  6. මමත් කාලයක් ඔහොම අයාලෙ/ඔළුව හැරුණු අතක/දඩාවතේ ගියා.. ඒත් අන්තිමට තේරුණා යන්න ඕන පාර. ඒ වගේම ඒ පාරෙ යන්න ඕන තනියම කියලත්...

    ReplyDelete
    Replies
    1. ඔව්....ඒත් ඔලුව හැරුණු අතයන දෙන්නෙක්ට එකට ගියා කියල ගානක් නෑ...

      Delete
  7. මේකනම් මාරයි,ගොඩක්ම ලස්සනයි. 4to එක මොකද්ද කියල තේරුනේ අන්තිමට නේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මහිම.. :)ඒකනේ....එළිවෙන ජාමෙටනෙ හොද හොද සෙල්ලම්... :D

      Delete
  8. ඔහොම තමයි ජීවිතේ.. කවදහරි අල්ලගත්ත අත් අතෑරෙනවා... ඒ අතෑරිච්ච එක ගැන දුක් වෙන්න තියෙන ඉඩ වැඩි උනත් හිස හැරුණු අතේ යන එක ගැනනම් මට තියෙන්නේ තේරුමක් නැති දෙයක් කියන හැඟීම... ජීවිතේ එච්චර චීප් නෑ...

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා.... ලස්සනයි කතාව...

      Delete
    2. බොහොම ස්තූතියි හිරූ...ඔයා හරි..ඒක තේරුමක් නැති දෙයක්..ඒත් ගොඩක් වෙලාවට ඒක පාලනය කරගන්න අමාරු හැඟීමක්...

      //වෙන කෙනෙක්ගෙ බල කිරීමක් වගේ නෙවෙයි තමන්ගෙම කොටසක්..දෙයක් කරන්න කියලා බලකරන්න ගත්තහම...ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි ගොඩාක් හිත හයිය කෙනෙක් නෙවෙයිනම්...// :)

      Delete
  9. ඔයා ලියන මේ වගේ ගොඩක් ඒවා මගේ බොක්කටම වදිනවා අප්පා. මම්ත් ඔය වගේ අත්දැකීමක ගැට්ටෙ ඉන්න නිසාද කොහෙද. :( සිරා ලිවිල්ල පැංචි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...මෙහෙම අත්දැකීමක් කාටවත් නොලැබෙන්න කියලයි මමනම් පතන්නෙ :( ....තැන්කූ නිසූ අක්කි..

      Delete
  10. ඔළුව හැරුන අතක යන්නත් හැමෝටම ශක්තියක් නෑ.. එහෙම නේද? මේක කියවලා අහන්න හිතුන දේවල් නම් හුගක් තියෙනවා.. ඒත් ඕන නෑ කියලා හිතෙනවා.. හේතුව දන්නවා ඇති..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඒකටත් ලොකු හිතේ හයියක් ඕන... හිතෙන දෙයක් අහන්න අයියෙ.. ඇත්තෙන්ම පහු ගිය කාලෙට ගොඩක් දේවල් වෙනස් වුණා..ඒත් ඔයාට කියන්න ඔයාව මුණගැහුනෙම නෑනෙ.. :(

      Delete
  11. මං මේක දවස් දෙහෙකට කියෙව්වේ. අපි ඉතින් කාර්යබහුල ජනතාව නෙහ්. :)
    ඔන්න මට නම් මේ කතාව අළුත්. අදමයි කියෙව්වේ. කතාව ලස්සනයි. කියන්න වෙන යමක් හිතාගන්ඩ බැරි තරම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියණ්ඩී... :)

      Delete
  12. තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා
    අද යනවා දෙමන්සලේ...

    තමන්ගෙ ජීවිතවත් තමන්ට අයිති නැති අනිත්‍ය ලෝකෙක... වෙන කෙනෙක් හැමවෙලාවෙම අපියන්න හිතන පාරෙම යයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...

    කොහොම එකට කොච්චර දුර ගියත් කවදා හරි වෙන් වෙන්නම වෙනවා... ඔයාට ඒ දුර පොඩ්ඩක් කොට වෙච්ච එක විතරයි උනේ... යතාර්ථය අවබෝධ කරන් හිත හයිය කරගෙන තමන් යායුතු පාරෙ අරමුණක් ඇතිව යාම පමනයි කල යුත්තේ...
    Ravi

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....ඔව් රවි අයියගෙ කතාවත් ඇත්ත... ඒත් අපට තනියම ඒ කෙටි දුර ගෙවාගන්න පුලුවන් වෙයිද..???

      Delete
  13. මේකත් හරියට මකුළු දැලක් වගේ හැබැයි පැටලුනේ මාව.. ඒ තරම්ම සංකීර්ණයි..

    ReplyDelete
    Replies
    1. පැටලෙන්නැතුව කියවන්න...හෙහෙ.... :D

      Delete
  14. වෙනස් ම විදියක ලස්සන කතාවක් :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ලයාන්... :)

      Delete
  15. ඔයාගෙ ස්ටයිල් එක වෙනස්. ඒත් මේක ඇත්ත කතාවක් වෙනස් කරලා හදපු 1ක් කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව්..අපි දන්න නොදන්න...නොහිතන ගොඩක් අය...ඔලුව හැරුණු අත යන අය...ඉතින් එක අතකින් බැලුවහම මේක ඇත්ත කතාවකුත් තමයි... :)

      Delete
  16. ඇත්ත කතාවක්ද කොහෙද. අනේ මන්දා. කෙසේ වෙතත් කතාව නම් සුපිරි. දිගටම කියවගෙන යන්න පුළුවන් කම්මැලි නැතුව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලාබයි ඇපල්... :)

      Delete
  17. හරිම ලස්සනයි...
    අදමයි ගොඩවුණේ මතක හැටියට...
    අපේ දිහාවටත් ගොඩවෙන්න ඉඩ ලැබුණොත්...

    ReplyDelete
    Replies
    1. පලමු වතාවට ගොඩ වැදුණු ඔයාව ආදරෙන් පිළිගන්නවා...ඉඩ ලැබෙන හැටියට දින පොතත් කියවන්න එන්නම්කො... :)

      Delete
  18. දෙතුන් පාරක්ම කියෝල පොඩ්ඩක් තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. හෙහෙ...එහෙම හරි තේරුණානම් ගොඩ... :D

      Delete
  19. ප්‍රබුද්ධ ලේඛකයෙක් ලිව්වා නම් මේ කතාවම, සම්මානයක් ලැබෙන්නත් තිබ්බා...
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සම්මානනම් නැතත් කමක් නෑ ඩූඩ්...මට කියන්න ඕන වුණු දේ කියවන ඔයාලට දැනුනනම්... :)

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...