ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

හොඳ හොඳ සෙල්ලම් රෑ වෙන ජාමෙට........






     ඔන්න හෝ ගාලා වැඩ තිබ්බ දවස් දෙක තුනක් ගෙවිලා ආපහු වියමන පැත්තෙ එන්න මකුළු පැංචි අමාරුවෙන් ඉඩ කඩ හොයාගත්තා.නිතරම වියමනේ නැවතිලා බලන යාළුවො ටික තරහ වුණේ නෑ නේද පැංචිත් එක්කලා...???


     ඒ හැටි අමාරුවක් නොවුණු පොඩි ක්ලාස් ටෙස්ට් එකකුයි, කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටපු සාදයකුයි නිමකරලා ඇවිත් මකුළු පැංචිට නම් හරිම මහන්සීයි. ඒ මදිවට හොඳටම කැස්සත් හැදිලා.ඒත් හිතනම් හරිම සතුටින් පිරිලා.මොකද දන්නවද....


     ඉන්නකො ඉතින් කියනකම්...



     මකුළු පැංචිටත් ඉන්නවනෙ එයාගෙ හිත ගත්ත කුමාරයෙක්..හැබැයි එයා මකුළුවෙක් එහෙම නෙවෙයි ඔන්න..එයා වවුල් කුමාරයෙක්..(එයා වවුලෙක් වුණ හැටිත් පස්සෙ වෙලාවක කියන්නම්කො..)ඉතින් කාලයක් තිස්සෙ හොරෙන් හොරෙන් සැලසුම් ඇඳලා ඇඳලා මකුළු පැංචි එයාගෙ වවුල් කුමාරයව පුදුම කරවන්න සාදයක් දුන්නා.තේරෙන භාෂාවෙන්ම කිව්වොත් surprise party එකක්...එයාගෙ ළඟ එන උපන්දිනේ වෙනුවෙන් තමා එහෙම කළේ..මකුළු පැංචි නොහිතපු තරම් ලස්සනට වැඩේ කෙරුණු නිසාම දවස් ගානක මහන්සියත් නොදැනෙන තරමටම දැන් හරිම සන්තෝසයි... :))..ඔක්කොම විස්තර කියන්න නම් දැන් වෙලා නැති නිසා ඒකත් ඔන්න පස්සෙ පෝස්ට් එකකට මතු සබැඳිලු....


     හරි......ලොකු වැල්වටාරම් ගොඩකට පස්සෙ..දැන් ඉතින් අද ලියන්න ආපු දේ කියන්නම්කො..මතකයි නේද මකුළු පැංචි අන්තිමටම ලියාපු වියමන...අර අඳින්නය කියලා හිතාගෙන ගිය තාප්පයක් ඉහේ කඩාවැටුණු සිද්ධිය...එදා පැංචිට ලියන්න ලැබුණේ මකුළු පැංචිගෙ නුවණක්කාර කතාවකට පින් සිද්ධ වෙන්න චිත්‍ර ටීචර්ගෙන් ලැබුණු ආදරණිය පැසසුම් ගැන කතන්දරේ විතරනෙ..ඔන්න අද කියන්නෙ බොහොම අමාරුවෙන් තරඟෙට ගිහින් එතනදි වෙච්ච වැඩක්..


     කොහොමින් කොහොමින් හරි යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් අපේ භාරකාරයා විදිහට පත්කරගෙන අපි ගියානෙ තරඟෙට...අපි කිව්වෙ මකුළු පැංචියි,එයාගෙ යාළුවො දෙන්නයි,තව අක්කලා දෙන්නෙකුයි කියලා මතකනෙ.තරඟෙ තිබ්බෙ දෙහිවල පැත්තෙ තියෙන මිශ්‍ර පාසලක..හරියටම කිව්වොත් දෙහිවල සත්තු වත්තට පේන දුරක තියෙන ඉස්කෝලෙක...(දන්න අයනම් ඔන්න මෙලහකට දන්නවත් ඇති... : )...


     ඉතිං ඔන්න බස් එකේ තමා ගියේ.ආහ්...තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනෙ.තාප්ප වල චිත්‍ර අඳින්න තියන තරඟ වලදි සාමන්‍යයෙන් ඕන කරන පාට,පින්සල්,හුණු කූරු තරඟෙ සංවිධානය කරන අය විසින්ම සපයනවා.ඒ නිසා අපිට ගෙනියන්න කියලා ඒ හැටි බඩු ගොඩක් තිබ්බෙත් නෑ.ඔය වැඩ ඇඳුමකුයි..කටුසටහනයි..තව පොඩි පොඩි ආම්පන්න ටිකකුයි තමා ඉතින් තිබුණේ.ඉතින් ඔහොම ගිහින් අපි තරඟය සංවිධානය කරපු ඉස්කෝලේට ගියාම ඒ ඉස්කෝලෙ චිත්‍ර ගුරුතුමයි,තරඟෙ සංවිධානය කරපු උසස් පෙළ කරන අයියලා අක්කලා ටිකයි අපිව ඉතාම සාදරයෙන් පිළිගත්තා.


     ඔන්න ඉතින් පොඩි කතා බහක් සහ හඳුනාගැනීමකින් පස්සෙ අපිට අඳින්න නියමිත බිත්ති පදාසය පෙන්නුවයි කියමුකො..වෙන්න ඕන විදිහටම තාප්පය කලින් සුදු පාටින් පාට කරලයි තිබුණේ.ඔයාලත් දන්නව ඇතිනෙ.... සාමාන්‍යයෙන් තමන්ගෙ ඉස්කෝලෙදි මොන පිස්සු නැටුවත් වෙන ඉස්කෝලෙකට ගියාම අපි බොහොම හික්මීමෙන් තමා වැඩ.මොකද ඉස්කෝලෙ නම තියාගෙන ඉන්නත් එපැයි ඉතින්. ඒ නිසාම අපි වැඩි පරක්කුවක් නැතුව ආම්පන්න ටික පොඩි ඩෙස්ක් එකක් උඩ තියාගෙන වැඩේ පටන් ගත්ත ඔන්න.වින්ධ්‍යයි,මකුළුයි,ළහිරුයි ඉතින් කෝඩු කාරයො නිසා අක්කලා දෙන්නගෙ උපදෙසුත් සැරෙන් සැරේ ලැබෙනවා..ඉස්සෙල්ලම කළේ පාට හුණු කූරකින් උවමනා කරන චිත්‍රයෙ රේඛාමය සටහනක් තාප්පයේ ඇඳ ගැනීම.


     මතකයි නේද අපි මේ චිත්‍ර අඳින්නෙ පාසල් පවුරෙ පිට පැත්තෙ.ඒ කියන්නෙ පේව්මන්ට් එකේ ඉඳගෙන..වින්ධ්‍යගෙ අම්මත් එතන තියපු පුටුවක ඉඳගෙන අපිව බලාගෙන එහෙම ඉන්නවා.ඒ ආන්ටිත් එහෙම සැර කෙනෙක් නෙවෙයි.ඒ නිසා අපි පිස්සු නැටුවට බනින්නෙත් නෑ.ඔය අතරෙදි පාරෙ යන බස් , ත්‍රීවිල් වල එහෙම ඉන්න සමහරු කෑ ගහගෙන,විහිළු කරගෙනත් යනවා.ඒත් වැඩේ කොච්චර ජොලිද කිව්වොත් අපිට ඔය මොකුත් කිසිම ප්‍රශ්නයක් වගේ නම් දැනුණේ නෑ... විනෝදයක් හැටියට මිසක්... :)). දවල් වෙද්දි තදට අව්ව පෑව්වත් අපි හිටපු තෑන ලොකු මාර ගහක් තිබ්බ නිසා හොඳට හෙවනයිත් එක්ක.....ඒ නිසා අපි වැඩේ කළේ පුදුම සැහැල්ලුවකින් කිව්වොත් හරි..


     තරඟෙ පැවැත්වුණු දවස් දෙක අතරින් මකුළු පැංචිටයි එයාගෙ කණ්ඩායමටයි ලැබිලා තිබුණේ දෙවෙනි දවස.එදා තරඟෙට ඇවිත් හිටියෙ මකුළු පැංචිගෙ ඉස්කෝලෙනුයි තව බාලක පාසල් දෙකක කණ්ඩායම් දෙකකුයි විතරයි..ඒකෙන් ඉතින් වාසියක් මිසක් පාඩුවක් නම් වුණේ නෑ ඔන්න...


     හිකිස්..දන්නවනෙ ඉතින්.....


     ඔන්න අපේ මොකක් හරි පාටක් ඉවර වේගෙන යනවනම්..මකුළු පැංචිලාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..අර වෙන කණ්ඩායමක් අඳින තැනට ගිහින් එයාලගෙ දක්ෂතාවය  අගය කරන එක..ඊට පස්සෙ පොඩ්ඩක් හිනා වෙලා...''අයියේ.........අපිට මෙන්න මේ පාට පොඩ්ඩකට දෙන්න පුළුවන්ද..???............කියල අහපු ගමන්..පාට ටින් එකම වුණත් පැංචිලාගෙ වගේ තමයි ඕං...හික් හික්....


     දැන් ඔන්න හිතන්න එපා පැංචිලා සහෝදර පාසල් වල සොහොයුරන්ව ගසා කෑවය කියලා..එයාලට උදව් ඕන වුණාමත් පැංචිලාගෙන් සම්පූර්ණ සහයෝගය හිමි වුණා අඩු නැතුවම..දැන් ඉතින් ඔය චිත්‍ර ඇඳිල්ල අතරම පැංචිලාට දවල් කෑම එහෙමත් ලැබුණා.කාලා එහෙම ඉවර වෙලා ටිකක් විවේක ගන්න අතරෙදි..මකුළුයි වින්ධ්‍යටයි පහළ වුණා මෙන්න මෙහෙම අදහසක්..කලින් දවසෙ කණ්ඩායම් ඇඳපු චිත්‍ර ටික බලා කියාගෙන ආවොත් හොඳයි නේද කියලා..මෙච්චර වෙලා අපි ඇඳ ඇඳ හිටියා මිසක් ඒවා දිහා ඇහැ දාන්නත් අමතක වුණානෙ......


     ඔන්න ඉතින් අදහස ක්‍රියාත්මක වෙලා මකුළු පැංචියි,වින්ධ්‍යයි පාසල් පවුර දිගේ චිත්‍ර බල බල යන්න පටන් ගත්තා.එක එක චිත්‍ර ගොඩාක් තිබ්බා.හිතට අල්ලපුවා,වැඩිය හිතට නොඅල්ලපුවා..ඔය හැම එකක්ම...හැබැයි එක චිත්‍රයක් දැකලා නම් මේ දෙන්නට පුදුම හිනා..(ඇත්තටම එහෙම හිනා වෙන එක වැරදී තමයි..ඒත් අනේ හිනාව නවත්තගන්න බැරි වුණානෙ කොහොමටවත්...) 


     ඇයි දන්නවද.......


     ඒ චිත්‍රෙ නිකම් ප්‍රයිමරි ළමයි දෙන්නෙක් ඇඳපු එකක් වගේමයි මකුළු පැංචිටයි,වින්ධ්‍යටයි පේන්නෙ...පිරිමි ළමයෙක් අඹ කඩනවා,ගෑනු ළමයෙක් වට්ටියක් අල්ලගෙන ඉන්නවා තමයි ඒකෙ ඇඳලා තිබ්බෙ මතක හැටියටනම්...අර ලස්සන ලස්සන චිත්‍ර අස්සෙ එහෙම එකක් තියෙනකොට හිතන්නකො කොහොමට ඇද්ද කියලා..ඒ මදිවට තරඟෙන් පස්සෙ ඉස්කෝලේ නම සටහන් කරන්න වෙන්කරපු තීරුවෙ පාට හුණු වලින් ඉස්කෝලෙ නමත් එක්ක 12 ශ්‍රේණිය කියලත් ලියලා ගිහින්...(මකුළු පැංචිට නම් මේ දැන් මතක් වෙද්දිත් හිනා...ඊට පස්සෙ ඔන්න වින්ධ්‍යට පහළ වුණා නියම අදහසක්..අතේ තිබ්බ පින්සල් පිහින රෙදි කෑල්ලෙන් එයා අර 12 ශ්‍රේණිය කියන එකේ එකේ ඉලක්කම මැකුවෙ නැතැයි...දැන් එතන තියෙන්නෙ...2 ශ්‍රේණිය කියල....ඒක දැකලා මකුළු පැංචිට බඩ පැළෙනකම් හිනා..පැංචියි වින්ධ්‍යයි ඕක අනික් අය එක්කත් බෙදාගන්න අමතක කළේ නෑ....ඕක අහලා අනිත් අය කිව්වෙ මොකද්ද දන්නවද..අපරාදෙනෙ එකේ ඉලක්කම මැකුවෙ..දෙකේ ඉලක්කම මැකුවනන් තමා හරියටම හරියන්නෙ කියලයි..


     ඔන්න ඔහොම විනෝදාත්මක වැඩයි, දඟ වැඩයි, චිත්‍ර ඇඳිල්ලයි එක්ක මකුළු පැංචි ඇතුළු කණ්ඩායමට වෙලාව යනවා දැනුණෙවත් නෑ.අනික් කණ්ඩායම් දෙක හවස 5 විතර වෙද්දි වැඩ ඉවර වෙලා මකුළුලාට බායි කියලා යන්නත් ගියා.දැන් ඔන්න කරුවලත් මෝදු වේගෙන එනවා..ඒත් එතනම පාරෙ පහන් කණුවක් තිබ්බ නිසා කට්ටියට ඒකෙන් ඒ හැටි ගැටලුවක් වුණෙත් නෑ..වැඩෙත් කෙරීගෙන කෙරීගෙන ගිහින්...ඔන්න දැන් චිත්‍රෙ අවුට් ලයින් එක අඳින්න වෙලාව..ඒක ඇන්දම වැඩේ ඉවරයි...අවුට් ලයින් එක අඳින්න කලියෙන් කට්ටියම පින්සල් පැත්තකින් තියලා චිත්‍රෙ වෙන අඩුපාඩු තියෙනවද කියලත් හොයලා බලන්නත් අමතක කළේ නෑ...එහෙම බලන්න කියලා පොඩ්ඩක් පාරට බැස්ස වෙලේ තව ටිකෙන් මකුළු පැංචිව පාරෙ ගිය බයිසිකලේකත් හැප්පෙනවා..ඔන්න දැන් ඔක්කොම හරි වගේ...


     මම එහෙනම් අවුට් ලයින් එක පටන් ගන්නවා... එහෙම කිව්වෙ මකුළුලත් එක්ක ගියපු වරුණි අක්කා...මෙන්න වරුණි අක්ක එහෙම කියලා පින්සල අතට ගත්ත විතරයි.........


     එකපාරටම මුළු පළාතෙම  කරන්ට් එක ගියා.......!!මොකද්ද බොලේ මේ වෙච්ච අකරතැබ්බෙ.......
     
     මතකයි නේද ලංකාවට වහින්නෙ නැතුව හැමදාම එක එක වෙලාවලට පවර් කට් තිබුණු කාලයක් තිබුණා..මකුළු පැංචියි යාළුවො ටිකයි හා හා පුරා කියලා තාප්පෙක චිත්‍රයක් අඳින්ට ගියෙත් ඔන්න ඔය කාලෙම තමයි..හැමෝම හෙමි හෙමින් චිත්‍රෙ ඇන්ද මිසක,කාටවත්ම මතක් වුණේ නෑ එදා විදුලිය විසන්ධි කරන්න නියමිතව තිබ්බෙ හවස 6 ට බව..දැන් ඉතින් කට්ටියම බිරන්තට්ටු වෙලා බලන් ඉන්නවා මොනවා කරන්නද කියලා.....මේ වෙලාවෙ ඒ ඉස්කෝලෙ චිත්‍ර ගුරුතුමා ඇවිත් ළඟ පාත ගෙදරක ඉන්න ගෝලයෙක් ලවා විදුලිපන්දමක් එහෙම ගෙන්නගෙන අපට උදව් කරන්න හැදුවත්..ඒ එළිය කොහොමටවත් ප්‍රමාණවත් වුණේ නෑ වැඩේ ඉවර කරගන්න....දැන් ඉතින් මොකද කරන්නෙ.... :((((..කොච්චර හිතුවත් අදහසක් පහළ වෙන්නෙම නෑ.....


     ඔන්න එතකොටම වගේ මකුළු පැංචිගෙ තාත්තත් එතනට සම්ප්‍රාප්ත වුණා මකුළු පැංචිවයි යාළුවො ටිකයි ගෙදර එක්කගෙන යන්නය කියලා හිතාගෙන..ඒත් මේක ඉවර කරන්නෙ නැතුව මොන ගෙදර යෑමක්ද..මොනතරම් කට්ටක් කෑවද මේක වෙනුවෙන් කියල හිතෙද්දි නිකං දුකේ බෑ.තාත්තත් එතනට එකතු වුණා මේ ලයිට් ප්‍රශ්නේ විසඳගන්න.. හැබැයි වෙලාවට මකුළුගෙ තත්තටනම් මකුළුට වඩා මොළේ තිබ්බ.මොකද තාත්තා දුන්න නිසා තරු පහේ අදහසක්..ඒ තමයි තාත්තිගෙ වාහනේ හෙඩ් ලයිට් එක චිත්‍රෙට එල්ල කරලා ඒ එළියෙන් චිත්‍රෙ ඇඳලා ඉවර කරන එක..(කොහොමද අදහස... ;)) )


     ඔන්න ඉතින් කාර් එක පාරෙන් එහා පැත්තෙ පාර්ක් කරලා හෙඩ් ලයිට් එක ගානට චිත්‍රෙට ෆෝකස් කරලා කොහොමින් කොහොමින් හරි චිත්‍රෙ අවුට් ලයින් කරලත් ඉවර වුණා එදා.ඊට පස්සෙ අපිට බොහොම උදව් උපකාර කරපු ඒ ඉස්කෝලෙ චිත්‍ර ගුරුතුමාටත් මුව නොසැහෙන්න ස්තූතිත් කරල තමයි මකුළු පැංචියි යාළුවො ටිකයි එදා ගෙදර ගියේ.


     හැබැයි හොඳම හරිය එන්නෙ දැන් තමයි ඔන්න...මොකද්ද දන්නවද ඒ ආරංචිය..එදා ඔහොම පිස්සු නට නට කාර් වල හෙඩ් ලයිට් ගහගෙන ඇඳපු චිත්‍රෙට..මකුළු පැංචි ඇතුළු චිත්‍ර කණ්ඩායමට පළවෙනිස්ථානය ලැබුණා... කොහොමද කට්ටියගෙ වැඩ..ආහ් අර අපිට පාට දීපු සහෝදරයො ටික තමා තුන්වෙනිස්ථානය ලබාගත්තෙ....ඒකෙන් සතුට දෙගුණ වුණ බව කියන්ට ඕනෙ නෑනෙ ඉතින්...... :))


     කොහොම වුණත් මකුළු පැංචිටනම් මේ තරඟෙන් ඊට වඩා ගොඩක් තැගි ලැබුණා...යාළුවො එක්ක ගත්ත ෆන් එකයි..අලුතින් ලැබුණු යාළුවො සෙට් එකයි..ඒ තරඟෙ නිසා පැංචි විඳපු නිදහසයි...පළවෙනිස්ථානෙට ලැබුණු සහතිකේටයි තෑගිවලටයි වඩා වටිනවා කියල තමයි අද මේ දැල වියන මොහොතෙදිත් මකුළු පැංචිගෙ හදවතනම් කියන්නෙ...



18 comments:

  1. හොදයි හොදයි කොහොමහරි තෑග්ග ගත්තනෙ.... කලින් ලිපියෙ මාතෘකාව අඳින්න ගිය තාප්පය ඉහේ කඩාවැටීමනෙ මම හිතුවෙ රෑ ඇදලා ඉවරවෙලා උදේ එද්දි තාප්පෙ බිම ඇතියි කියලා.....

    ReplyDelete
  2. හොර කරලා ගන්න තෑගි වලට අපි අත්පුඩි ගහන්නේ නෑ...

    ReplyDelete
  3. මමත් මේ තාප්පෙ කඩන් වැටෙනකන් බලං හිටියෙ..
    අඩුම ගානේ පහුවදා වෙද්දිවත් වැටිල තියෙයි කියල. මොන..

    ReplyDelete
  4. @කිඩෝ : ඔව් ඔව්..තැග්ග නම් ලැබුණ...හෙහෙ..තාප්පෙ කඩා වැටුනා කියලා කිව්වෙ චිත්‍ර ටීචර් මගේ ඔලුවට කඩාපාත් වුණු එකයි...හිකිස්...

    @ගෝල්ඩ් fish : :O..මොකද්ද දැන් අපි කරපු හොරේ.... :/

    @තාරක Dilsh@n : අනේ එහෙම කියන්ඩ එපා අයියෝ..ඒක පහු වෙනිද හරි කඩා වැටුනනම්.මකුළු පැංචිගෙ හදවත පැලිලා මැරෙනවා ඕං... :p

    ReplyDelete
  5. මකුළු පැංචිගෙ තාත්තට වාහනයක් තියෙනව කිව්වනම් ඉවරයිනෙ... ;)

    බලන් ගියහම කෙල්ලො කියන වුන් අපිට වඩා අන්තයිනෙ...

    ReplyDelete
  6. @සාතන් :
    අන්න හරි...ඇති යාන්තන් සාතන්ටවත් ඒක තේරුණා... :p

    ReplyDelete
  7. මකුලු පැංචිලාත් පුදුම වැඩ තමා කරලා තියෙන්නේ. අර අයියලා ගහන්න හෙව්වා ලු නේ චිත්‍රයේ තිබ්බ එකේ ඉලක්කම මැකුවා කියලා.

    එතකොට මකුලු කොයි කාලෙද වසිලිසාගේ රටට ගියේ ???

    ReplyDelete
  8. කාර් එලියෙනුත් චිත්‍ර ඇඳල නේද? හොඳ ජොලියක් ගන්න ඇති ඇත්තට!

    ReplyDelete
  9. හොර මකුලු පැන්චි,,

    ReplyDelete
  10. @මධුරංග :
    හික් හික්... ඒ අයියලා කොහේ අල්ලන්නද අනේ අපිව.. අනික එහෙම අහුවුණා නම් අර පාට ඉල්ලගන්න යොදාගත්තු මන්තරේ තියෙනවනෙ.. හිකිස්... :D

    ReplyDelete
  11. @hare :-):
    ඇත්තෙන්ම ඔව්.. ආයෙනම් එහෙම කාලයක් මුලු ජීවිත කාලෙටම එයිද මන්දා... :D

    ReplyDelete
  12. @රත්ගමයා :
    ආහ් රත්ගමයත් ඇවිත් තියෙන්නෙ වියමන පැත්තෙ..බෝම ප්‍රීතීයී.. ඒත් ඉතින් මකුළු පැංචි හරිම අවංක අහිංසක මකුළු පැංචියෙක් හොඳේ... :))

    ReplyDelete
  13. සිරි කොලුවා කොමෙන්ට් නොකලත් ටික දවසක ඉදන් මෙ මකුලු දැල පැත්තෙ එනවා. මකුලු පැන්චි බොහොම දස්ස චිත්‍ර කාරියක් නෙව... :)) ශා මලුනේ... :)) එ දවස් වල කල ඔය වගෙ ෆන් වැඩ අපෙ ජිවිත තාමත් සුන්දර කරනවා ...........

    ReplyDelete
  14. කතාව නම් එල පැන්චියේ... ඒත් අර චිත්‍රය ඔයා විවේචනය කරපු හැටි සාදාරණද කියලා මට පොඩ්ඩක් සැකයි... එතැනදී කොහොම හරි කලාකෘතියකට අපහාස වෙලා වගේ නේද?? ඔයාත් කලාකාරියක් නේ..එහෙම කරන එක හරිද???

    ReplyDelete
  15. @සිරි කොලුවා :
    ආහ් හොරෙන්ම ඇවිදින් ගියා නේද...? එහෙම යන්ට එපා..හිතෙන දෙයක් කියල යන්ට..හොඳ නෙවෙයි නරක වුණත් කමක් නෑ.. මකුළු පැංචි චිත්‍ර කාරියක්නං තමා..ඒත් දස්සද කියන්න නං දන්නේ නෑ ඕං... :D

    ReplyDelete
  16. @රවින් :
    බොහොම ස්තූතියි රවීන්.. ඇත්ත කෙනෙක්ට හිතෙනවා ඇති මකුළු පැංචි හරි ලොකු කම් කියවන කෙනෙක් කියලා..අනේ එහෙම නෑ..ඇත්තෙන්ම තෑගි දුන්නු දවසෙ දැනගන්න ලැබුණා..ඒ චිත්‍රෙ ඇඳලා තියෙන්නෙ එදා ඒ පාසලෙන් තරඟෙට එන්න හිටපු ළමයි ටික නෙවෙයි කියලා(එයාලට නොවැලැක්විය හැකි හේතුවක් නිසා එන්න බැරි වෙලාලු..අපට වුණා වගේ අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණද දන්නෑ..හිකිස්..).ඒ වෙනුවට නිකම් ප්‍රිෆෙක්ට්ස්ලා ටිකක් තමා ඇවිත් ජොලියට වගේ ඕක ඇඳලා ගිහින් තියෙන්නෙ..දන්නවනෙ ඉතින් අපේ සහෝදරයින් ගන්න ෆන්... :D.. ඒ සෙට් එකත් ඔලුවෙ අතගහ ගත්තා ඇඳලා තිබ්බ එක දැකලා.. :))

    ReplyDelete
  17. පළමුවෙනියා වීම කියන එක පොඩි කාලේ හරිම ජොලි වැඩක්.
    හැබැයි ලොකු වුනාට පස්සේ තමයි තේරුනේ පළමුවෙනියා වෙනවා කියන්නේ සුළු පිරිසකට වඩා තරමක් හොඳයි කියන එක විතරයි කියලා.

    ReplyDelete
  18. මම දන්නවා ඔය ඉස්කෝලේ දෙහිවල එස් ද එස් ජයසිංහ විදුහල ඒ කියන්නේ ඔයා ඉඳලා අපේ ඉස්කෝලේ ලඟ පාත ඉස්කෝලෙක වෙන්න ඕනි

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...