ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

තහනම් ගහ සහ විවාහය.....!!





     පහුගිය දවසක දුකා විසින් දාලා තිබුණු බස් පෝස්ට් එකකට මංචිම දාපු කොමෙන්ටුවක් තව ටිකක් අදහස් එකතු කරලා වියමනෙත් පෝස්ටුවක් විදිහට දාන්න හිතුණා....එහෙම හිතුණෙ මේ දවස් වල මංචිට අලුත් පෝස්ට් ලියන්න වෙලාව මදි නිසාමත් නෙවෙයි... දුකාගෙ සංවාදයෙන් ඇරඹුණූ මාතෘකාව මීට අවුරුදු දෙකකට කලින් (දුකාගෙ මේ පෝස්ටුව 2009 ජූලි 4 වෙනිදා ලියාපු එකක්.. :D ) වගේම  මේ අදටත් ඉතාම කාලෝචිත බව මකුළු පැංචිටත් තදින්ම හිතුණු නිසා...  


     දුකාගෙ පෝස්ටුවෙ අරමුණ වුණේ සැමියෙක් හෝ බිරිඳක් තමන්ගෙ සහකාරිය/සහකරුවාට හොරෙන් අනියම් සබඳතාවකට යොමු වන්නෙ ඇයි කියන එක සංවාදයට ලක් කරන එකයි...


     ඉතින් ඒක කියවලා මංචිගෙ ආකල්පයට අනුව මංචි එයාගෙ අදහසත් එකතු කළා.... මෙන්න මෙහෙම....



     මංචි හිතන්නෙ ගැහැණු පිරිමි දෙපාර්ශවයේම වැරදි නිසා මෙහෙම දේවල් වෙනවා කියලයි.(සමහරුනම් තමන්ගෙ චරිතයේ තියෙන සංයමයක් නොමැති කම ,නොහික්මුණු බව නිසා තමන්ගෙ බිරිඳ/සැමියා ඇරෙන්න වෙන කෙනෙක් එක්ක යනව නම් ඒක මේ කතාවෙන් බැහැරයි.මොකද ඒක තම තමන්ගෙ තියෙන කොඳු ඇට පෙළක් නොමැති වීමේ ගැටළුව නිසා)


     එහෙම ඇරෙන්න ගොඩක් වෙලාවට අනික් පාර්ශවය අතින් සිදුවෙන අතපසුවීම්,නොසැලකිලිමත් බව ආදිය නිසා සහ දෙදෙනා අතර නිසි අවබෝධයක් නොමැති කම ආදිය නිසා තමයි වෙනකෙනෙක් එක්ක අනිසි ඇසුරකට යොමු වෙන්නෙ...


     බිරිඳක් අතින් වෙන විශාලම වරද විදිහට බෙහෙවින්ම විවාදයට ලක් වෙන්නෙ  විවාහ වෙලා කල් ගතවෙද්දි...දරුවො කීප දෙනෙක් පවුලට එකතු වෙද්දි බැඳපු අළුත වගේ සැමියා ගැන සොයා බලන්න අතපහු කරන එක.කලින් වෙලාවට කෑම එක ලඟට ගෙනත් දෙන කෙනා...ඔලුවෙ කැක්කුමක් හැදුනත් බේත් හේත් දෙන කෙනාට...පස්සෙන් පහුවෙද්දි කෑවද නැද්ද,සනිපෙන් ඉන්නවද කියල හොයලවත් බලන්න කාලයක් මිඩංගු නොකරන එක ගොඩක් සැමියන්ට වද දෙන මානසික ගැටළුවක්....


     කොහොම වුණත් මෙතනදි ගොඩක් පිරිමි හරිම පටු විදිහට සිතුවිලි හසුරවනව කියලයි මට නම් හිතෙන්නෙ..විවාහ වෙලා කලක් ගත වුණත් ගොඩක් සැමියන්ගෙ දින චරියාව වෙනස් වෙන්නෙ හරි අඩුවෙන්...( එහෙම නොවෙන අවස්ථාත් නැතුවම නෙවෙයි)...ගොඩක් වෙලාවට සැමියෙක්ගෙ දින චරියාව ගෙවෙන්නෙ උදේ නැගිටලා රැකියාවට ගිහින් ගෙදර එන එකෙන්.. ඒක වෙහෙසකර වෙන්න පුලුවනි..ඒත් කාලාන්තරක් තිස්සෙ ඒකට එකතුවෙන බර සාපේක්ෂව අඩුයි නේද...??මම ඒකෙන් අදහස් කරන්නෙ සැමියා අඩු වැඩ කොටසක් කරනවා කියල හෙම නෙවෙයි.(ඔය කොල්ලො කුරුට්ටො ඕකට තරහ ගන්නව හෙම නෙවෙයි ඕං..)පැංචිගෙ අදහස අඩු හෝ වැඩි වැඩ කොටසක් හෝ කරනවා වේවා..ඒ ප්‍රමාණය කාලයත් එක්ක වර්ධනය වෙන වේගේ අඩුයි කියලයි..


     ඒත් බලන්න කාන්තාවකගෙ දින චරියාව එන්න එන්නම කාර්‍යබහුල වෙනවා මිසක් කවදාවත් ඒක අඩුවක් වෙන්නෙ ඉතාම කලාතුරකින්.....දරුවො පවුලට එකතුවෙන්න වෙන්න මවකට පැටවෙන වැඩ කන්දරාව කියා නිම කරන්න බැරිතරම්....ඒ මදිවට අද නම් ගොඩක් බිරින්දෑ වරුන්ට පවුලේ ආර්ථිකය ගොඩගන්න හවුල් වෙන්නත් සිද්දවෙලානෙ... එහෙම වුණාම සැමියා තරම්ම බරක් බිරිඳත් අදිනවා...ඒ වගේම ගෙදර ආවත් ඒ වැඩ වල නිමක් නෑ...විවාහ වුණු අළුත සරලව ජීවිතේ ගෙවුණු කාලෙදි වගේ ඇයට සැමියා එක්ක බොළඳ විදිහට හැසිරෙන්න කාලය නැති වෙන්න පුළුවන්...ඒ තියා වැඩ ගොඩවෙලා ඇතිවන පීඩනය නිසා ඇය තරමක් කේන්තිකාරියක් බවට පත් වෙන්නත් පුළුවන්...ඉතින් මෙහෙම වෙලාවක සැමියා වුණත් සානුකම්පිතව බලන්න ඕනේ නේද...??


     සැමියෙකු හෝ බිරිඳක අනියම් සබඳතා වලට යොමු වීමට අනික් ප්‍රධානම හේතුවක් තමයි,ලිංගික ජීවිතය අඩපණ වීම....මෙතනදිත් ගොඩක් වෙලාවට ගැහැණිය තමයි පීඩාවට පත්වෙන්නෙ...මොකද ස්වභාවිකවම කාන්තාවන්ගෙ ලිංගික ජීවිතයට ඇති නැඹුරුව මැදිවියට එද්දි සිදුවෙන හෝර්මෝනමය වෙනස් කම් නිසා අඩු වෙනවා.ඒත් පිරිමි පාර්ශවයට එහෙම අතිවිශාල ශාරීරික වෙනස් කමක් වෙන්නෙ නැහැ...


     ගොඩක් වෙලාවට මේ ශාරීරික වෙනස් කම් නිසා කාන්තාවකගේ මානසික තත්ත්වයත් අතිසංවේදී තත්ත්වයකට පත්වෙනවා තාවකාලිකව...එහෙම වෙලාවක සැමියා ඇයව තව තවත් පීඩාවට පත්කළොත් එයිනුත් ඇතිවෙන්නෙ අයහපත් ප්‍රතිපලයක්... මෙතනදිනම් කරන්න තියෙන හොඳම පියවර දෙන්නා දෙමහල්ලො කතාබහෙන් විසඳගන්න එක කියලයි මගේ අදහස....එහෙම නැතුව මේවගෙ අතිශය ස්වභාවික හේතුවක් නිසා තමන් එක්ක එච්චර කාලයක් එකට හිටිය කාලයක් තිස්සෙ තමන්ව සතුටු කරපු බිරිඳව අතැරලා වෙන ගැහැනියක් ලඟට යන කෙනෙක්..ඊට කලින් හිතන්න වුවමනායි තමන් සදාචාරය,මිනිස්කම අතින් මොන තරම් ප්‍රාථමිකද කියලා.(ඒක හරියට මිනිස් බවින් ආපහු වානර ලක්ෂණ තියෙන අවධියකට පත් වෙනවා වගේ වැඩක්)


     කොහොම වුණත් බිරිඳ අතෙත් වැරදි තියෙන්න පුලුවනි... කාර්යබහුල වුනත් යන්තමින් හරි තමන්ගෙ සැමියා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න වුවමණාව ඇති දිරිමත් බිරිඳට බැරිකමක් නෑ...ස්වභාවිකව ලිංගික ආශාවන් අඩු වෙනවා කියලා සැමියගෙ වුවමනාවල් නොසලකා අරින එකත් අසංවේදී වැඩක්...මොකද අඩු වුණාට ඒ දේවල් නැත්තටම නැති වෙන්නෙ නෑ නේ....පවුල් ජීවිතේ නිතරම වෙනස් වීම් සහිතව ප්‍රාණවත්ව තියාගන්න හොඳටම පුළුවන් බිරිඳටයි..


     දෙන්නා දෙමහල්ලො එකිනෙකාගෙ හැගීම් අදහස් ගැන සංවේදී නැත්නම් ඒ වගේම එකිනෙකා වෙනුවෙන් නම්‍යශීලි බවක් නැත්නම්,එකිනෙකාගෙ ප්‍රශ්ණ වලදි නෑසූකන්ව ඉන්නවනම් ඒ පවුල වැඩිකලක් තියෙන එකක් නෙවෙයි...... මොකද විවාහයෙන් පස්සෙ දෙන්නම දෙමාපියන්ගෙන් ඈත් වෙනවා... එතකොට සහකරුවා/සහකාරිය තමයි තමන්ගෙ ජීවිතේට කිට්ටුම කෙනා.ඉතින් එයා ගහක් ගලක් වගේ ඉන්නවනං අනික් කෙනාට එපාවෙන එක අහන්න දෙයක් නෑ නෙ...


     ගොඩක් අයට ආදරේ කරන කාලෙ තියෙන සංවේදි බව විවාහයෙන් පස්සෙ අතුරුදහන් වෙනවා... මංචිට හිතෙන්නෙ විවාහය කියන වචනයෙන්ම අපේ සමාජය මහ බරක් ඔලුවට පටවනවයි කියලයි..ආදරේ කරන කාලෙ බොහොම සැහැල්ලුවෙන් ඉන්න අය පවා විවහ වුණාම ඉන්නෙ නිකං ගලක් බෙල්ලෙ එල්ලගෙන මූදට පැන්නා වගේ...හිකිස්....එහෙම නැතුව ආදරේ කරන යුවලකට තවත් නිදහස වැඩිපුර ලැබෙන ක්ෂේමභූමියක් ගැන හිතනවා වගේ විවාහය ගැන හිතන්න අපට බැරි ඇයි....???


     සමහර බිරින්ඳෑවරුන්නම් සැමියට සල්ලි නැතුව නට්ටං වුනාම වෙන කෙනෙක් එක්ක යාළු වෙනවා... මේකනම් හරිම පහත් වැඩක්...හැම ගැහැණියක් තුළම විසිතුරු දෙය ගැන ප්‍රවේණිගත් ආශාවක් තියෙන බව ඇත්තක්...එහෙම වුණත් ආශාවන්ට වහල් වෙලා පවුලක් කඩාගන්න එක කරන්නට නුසුදුසු විදිහේ මෝඩ වැඩක්... 


     තවත් සමහරු ඉන්නවා සල්ලි බලය වැඩි වීම නිසා වෙනත් ගැහැණු පස්සෙ යන පිරිමි... ධන බලයෙන් අන්ධ වෙලා ඉඳිද්දි තමන්ගෙ බිරිඳගෙ අඩුපාඩු පේන්න ගන්නවා..ඉතින් යනවා හොයාගෙන සැලෝන් ගිහින් මූණ,කොණ්ඩෙ ලස්සනට තියාගන්න අවුරුදු 18 කෙල්ලෙක්ව..හිකිස්....හැබැයි එතකොට මතක් වෙන්නෙ නෑ තමන් වැඩි ඔපයක් නැති කාලෙ නම් දුකට සැපට හිටියෙ අර වැඩි වැඩ නොකරන බිරින්දෑ නේද කියලා... තමන් සල්ලි දුන්නා නම් එයාටත් හැඩට වැඩට ඉන්න තිබ්බා නේද කියලා...මුල අමතක වීමත් අනියම් සබදතාවල පැටලුණු ගැහැණු පිරිමි දෙගොල්ලොන්ගෙන නිතරම තියෙන අඩු පාඩුවක්...


    සමහර වෙලාවට සැමියා බිරිඳට හෝ බිරිඳ සැමියාට වූවමනාවට වඩා සැරපරුෂ වීම..එකිනෙකා ගැන ගෞරවයක් නොමැති වීම , අනවශ්‍ය විදිහට නීති පැනවීම නිසාත් පවුල් ජීවිතේ ගැන,එකිනෙකා ගැන විඩාපත් හැඟීමක් ඇතිවෙන්න පුළුවනි...එහෙම වුණාමත් ලැබෙන පමාවෙන් වෙන අත්තකට පයගහන්න තමා හිතෙන්නෙම..සමහර සැමියො ඉන්නවා..තමන්ගෙ බිරිඳට වඩා හොඳට ගෙදර ඉන්න මෙහෙකාරයටත් කතාකරනවා..ඒ වගේම සමහර බිරින්දෑවරුත් ඉන්නවා සැමියව තුට්ටු දෙකකට් මායිම් නොකරන...හිකිස්... ඕනම මනුස්සයෙක්ට මේ වගේ අඩත්තේට්ටම් ඉවසගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවනෙ...ඉතින් රතු කට්ට පැන්නොත්....ආයෙත් ඉතින් ඒ නොලැබෙන දේවල් ලැබෙන තැනකට යන්න පෙළඹෙන එක තමා ප්‍රතිපලය....



     හැබැයි ඉතින්.....කොහොම මොන හේතු තිබුණත් වැදගත්ම දෙයක් කියලා මංචිට හිතෙන දෙයක් කියන්න ඕනේ.....ඒ තමයි ඔය පවුල් කඩාගන්න හිතන උදවිය දරුවො ඉන්නවනම්..ඔහොම දෙයක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතන්න.....මොකද ඉස්සරහට සමාජය තලන්නෙ පෙලන්නෙ ඒ දරුවව නිසා...සැමියා/බිරිඳට මේ ගැටලුව දරුණුවට දැනෙන්නෙ රණ්ඩු සරුවල් වෙලා වෙන් වුණු මුල් කාලෙ විතරක් වෙන්න පුලුවනි....වැඩිහිටියො තමන්ගෙ ජීවිතේ බාගයක්ම ගෙවලා ඉවර වෙලයි මේ වගේ ප්‍රශ්න වලට මූණදෙන්නෙ...ඒත් මෙහෙම ගැටුම්කාරී පරිසරයකට මැදි වුණු දරුවන්ට නිවැරැද්දේම මුළු ජීවිතකාලෙටම දෙමාපියන්ගෙ ප්‍රශ්න බලපානවා.......ඒක මොන තරම් අපරාධයක්ද.......


     ඉස්කෝලෙදි (දරුවා ගෙදර ඇවිත් නොකිව්වට) හිත රිදෙන දේවල් ඕන තරම් සිද්ද වේවි.....දෙමාපිය රැස්වීමෙදි යාළුවන්ගෙ අම්ම තාත්තා දෙන්නම එද්දි..තමන්ගෙ අම්මා හරි තාත්තා හරි විතරක් එනකොට..යාළුවෙක් තමන්ගෙ තාත්තා,අම්මා ගැන කතා කියද්දි..තමන්ට කියන්න තියෙන්නෙ අම්මා තාත්තගෙන් එක්කෙනෙක් ගැන විතරක් නම්...විස්වාස කරන්න....ඒ හැඟීම මොන තරම් පීඩාකාරීද කියලා වචනෙන් විස්තර කරන්න බැරි තරම්..මේ දරුවො වැඩිමහල් වුණාම වුණත් මේ ප්‍රශ්ණ ඉවරයක් වෙනවද....??


     ඇත්තෙන්ම නෑ......දුවෙක්ටනම්..විවාහයක් කරගන්න දවසක අම්මගෙයි තාත්තගෙයි වෙන් වීම නිසා බොහොම දරුණු විදිහට අපහාසයට පත්වෙන්න සිද්දවේවි..තවමත් ලංකාවෙ මිනිස්සු හිතන්නෙ ''ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ'' කියලනෙ.....එහෙම ලැජ්ජාවක් දරාගන්න පුළුවන් වේවිද දරුවෙක්ට... පුතෙක් නම් දෙමාපියන් දන්නෙවත් නැතුව දරුණු හදවතක් තියෙන කෙනෙක් බවට පත් වේවි....මොකද පිරිමි ළමයි ඔය පෙන්නනවට වඩා ඇත්තෙන්ම ගෙදර අයට හරි ආදරෙයිනෙ...ඒ මදිවට අනියම් සම්බන්ධයක් ඇතිකරගත්ත මවක්,පියෙක් ආපහු තමන්ගෙ දරුවන්ගෙ මූණ බලන්නෙ කොහොමද මන්දා....


     ඉතින් ඒ නිසා මොන තරම් හේතු තිබුණත් පවුල් වුණු දෙන්නෙක් අනියම් සබඳතාවක් මංචි නම් අනුමත කළ හැකි දෙයක් කියලා පිළිගන්නෙ නෑ.ගෑනු මිනිස්සු සීයක් විතර එක්ක ඉන්න ඕන සමහර අය විවාහ වෙන්නෙ නැතුව ඉන්න එකනෙ වැඩිය හොඳ.......විවාහ වෙලා දැන දැනම වැරදි කරන කෙනෙක්ට නම් සමාව දෙන්න බෑ.එහෙම කෙනෙක්වනම් අනිවාර්යයෙන් නිවැරදි සහකාරයා/සහකාරිය විසින් අත ඇරලා දාන්න ඕනෙ කියලයි මං නම් කියන්නෙ.........


     කට්ටිය හිතනවද දන් නෑ මංචිට තියෙන්නෙ හරි දරුණු හිතක්ය කියලා... (ලොල්..ස්.....)ඒත් යාලුවනේ..පොඩ්ඩක් හෙමිහිට හිතල බලන්නකෝ... මේ දේවල් වල ඇත්ත නැත්ත....


එහෙම හිතලා හිතුණු දේවල් ඔය පහලින් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා ඔන්න............ :)))))


එහෙනම් මං ගියා ඕං...............



41 comments:

  1. dan kiyawannanam ba..passe kiyawala cmnt ekak dannam...

    ReplyDelete
  2. @දිලීප :
    හිකිස්...හදිස්සියක් නම් නැතෝ..ඒත් ඔන්න අනිවා කියවන්ඩෝනේ... :P..මේවා කාට කාටත් වැදගත් කරුණූ ළමයිනි... :D

    ReplyDelete
  3. මොනවා උනත් ඉතින් කතාව නම් සහතික ඇත්ත.ඔය මොන මොන ප්‍රශ්නෙත් ඇති වෙන්නේ විශ්වාසය නැතිකම නිසා කියන එකයි මගේ පුද්ගලික අදහස.
    දෙන්නෙක් විවාහ වෙන්නේ අදහස් අතින් 100% ම ගැලපිලා නොවුනට විවාහ උනාට පස්සේ ඒ ගැලපීම ගොඩක් ඇතිවෙනවා..ඒ ජිවිතේ ප්‍රශ්න වලට එකට මුහුණ දෙනකොට දෙන්න අතරේ හොද ට එකිනෙක කෙරෙහි විශ්වාසය ඇති වෙනවා...එහෙම ඇති වෙන දේ වෙන කොහෙහරි ඉන්න ගැහැණු / පිරිමි කෙනෙක් නිසා වෙනස් වෙනවනම් ඒ දේ සෑහෙන්න ප්‍රශ්නයක්..
    මංච් කිව්වත් වගේ " නිවැරදි සහකරු හෝ සහකාරිය ඒ වෙලාවදී දැඩි තීරණයක් ගන්න ඕන" [ වැරැද්ද හදා ගන්නේමැ නැත්නම් ..]

    මේ ඔන්‍න‍ ඔය දේවල් කිව්වට මම නම් තාම බැදලා එහෙම නැහැ... :D
    මම තාම පොඩි ළමයෙක් හරිද :D :D

    ReplyDelete
  4. හම්මෝ.. මේකෙ දිග.. දැන් නිදිමතායි.. හෙට ඇවිත් කියවන්නම් :)

    ReplyDelete
  5. අනේ අප්පේ මංචි අක්කත් හිතන දේවල්.. ඇත්තමයි, විවාහයෙන් පස්සේ අනියම් සබඳතාවන් නම් අනුමත කරන්නම් බෑ, එහෙම ගොඩාක්ම යන්නේ ලිංගික ජීවිතේ ප්‍රශ්න නිසා කියලයි මම නම් හිතන්නේ, අවබෝධය නැති තැන සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න බෑ කියලයි මම හිතන්නේ. ඒ වගේම අනවශ සැකයත් මේ අනියම් සබදතා වලට හේතු වෙනවා. සැමියා හෝ බිරිඳ කාර්යබහුල, ඒ වගේම ගොඩාක් සංකීර්ණ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ වගේ අවස්ථාවල ඇති වෙන සැකය නිසා එක් අයෙක්ට රිදවන්න අනිත් කෙනා අනියම් සබදතා ඇති කරගන්නවා. නැත්නම් තමන්ගේ කාලේ ගෙවාගන්න, දරුවා පාසලෙන් එක්කන් එනකන් කම්මැලිකම යවාගන්න කියලා ඔය වගේ සබඳතාවල පැටලෙන අය අනන්තවත් ඉන්නවා. ගොඩාක් ගැහැණු අය අමාරුවේ වැටෙන්නත් හේතු වෙන්නේ ඔය වගේ සබදතා.
    වැඩිපුර කියෙව්වද මන්දා.. හී හී..

    ReplyDelete
  6. මංචි අපි දෙන්න බැඳල ඔය කියන විදිහට ඉඳිමුද ?

    ReplyDelete
  7. මගේ බදින්න අදහසක් නෑ.. ඒ නිසා මං මේ ගැන මුකුත්ම කියන්නේ නෑ...

    ReplyDelete
  8. @ChammA :
    අනිවා..මොන වැල්වටාරම් කිව්වත් අන්තිමේදි ප්‍රධානම හේතුව විස්වාස නැතිකම සහ විස්වාසය රැකගන්න නොදන්නා කම.. අනික ඉතින් වැරැද්ද හදාගන්නෙම නැත්තම් දැඩි තීරන නොගෙන බැහැනෙ නේද...??

    (කිව්වට මොකද චම්මෝ...මංචිටත් ඉතින් තාම දාසයයි මාසයයි හනේ..බඳිනවා තියා බඳිනවා කියන්නෙ මොකද්ද කියාලවත් දන්නෙ නැති ගානයි...හික්ස්)

    ReplyDelete
  9. @ලේනා :
    හා හා..නිදිමරගාතේ කියවලා ජරමර කරගන්නෙ නැතුව හෙටම කියවන්ඩකො...:D

    @ප්‍රාර්ථනා :
    කිව්වත් වගේ සැකය ගැන කියන්ට අමතක වුණානෙ..අනික් කෙනාට එහෙම සම්බන්ධයක් තියෙනවා කියල හිතලා මට්ටු කරන්න හිතාගෙනත් අපේ උන්දැලා තමනුත් ඔය වගේ අනියම් සම්බන්ධතා පටන් ගන්නවා නොවැ... අර ළමයා ඉස්කෝලෙ ඇරිලා එනකම් ඔහොම ඒවට යන ''අම්මණ්ඩිලට'' නං මට කියන්න හොඳ ලස්සන වචන මතක් වෙන්නෙම නැති හැටි..හික්ස්...

    @මකර අධිරාජ්‍යයා :
    හනේ ඇත්තට මකරට පහු ගිය දොහට අපිව අමතකම වෙලා ගියා නේද...?? ඒ මදිවට ඇවිදින් අහල තියෙන කතාව...ලැජ්ජා නැති මකරෙක්... (වවුල්ස් එහෙම දැන ගත්තොත් මකරා කියලා ඉවසන එකක් නෑ හොඳේ..)හපොයි...මං මේ පෝස්ට් එක ලියාපු අත හොඳා ගිනි කන්දක ඔබා ගත්තානම්.... :P

    ReplyDelete
  10. මෙහෙම හෑලි කියවන්න වෙලාවක් වෙන් කර ගන්න වෙනවා මංචි මමත් භාගයක් කියෝලා දැම්මා,,,ඉතුරු භාගේ හෙට

    ReplyDelete
  11. @Dinesh :
    බඳින්න අදහසක් නැතුවට....මේ ගැනත් අදහසක් නැද්දෝ....

    @ItalyDilan :
    ඕහ්හ්....එච්චරටම දිගයි කියලා හිතුවෙ නෑ.. :(((

    ReplyDelete
  12. පහුගිය දොහේ මම මගේ රජදහනටවත් ගියෙ නෑ. ඒකෙත් මකුලු පැංචො පැංචියො දැල් බැඳල.

    මකරුන්ට කොහෙද ලැජ්ජාවක් කියල එකක්. හිතුණා ඇහුවා. ඒක නෙවෙයි කවුද බොලේ වවුල්ස් ? මම අඳුරන්නෙ නෑනෙ

    ReplyDelete
  13. @මකරා :
    හෆෝයි...බොහොම නාකයි අනේ මේ මකර අයියා නං... :((
    ගිහින් බලන්නකො...මකුළු පැංචිගෙ පෙම් පුරාවත....

    ReplyDelete
  14. වසා ගනු දොර මගේ හිමියනි...
    නුඹට රිසි නම් යන්න යන්නෙමි...
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි....

    අනේ මංදා මංචි අක්කෙ මට ඒ සින්දුව මතක් වුණා... මම අක්කගෙ කතාව ට එකඟයි...

    ReplyDelete
  15. මේක ටිකක් බරපතල මාතෘකාවක්නෙ... මේ ගැන අදහස් ටිකක් තිබුනට අපි තාම තනි කඩේ කරන් ඉන්න මිනිස්සු හින්ද මොකුත් කියන්නෙ නෑ ඕන්...

    මට නම් හිතෙන්නෙ කරුණු ටිකක් මගඇරල කියල... එකඟ වෙන්න බැරි තැනුත් තියෙනව (*ඒ තමයි ඔය පවුල් කඩාගන්න හිතන උදවිය දරුවො ඉන්නවනම්...)

    ReplyDelete
  16. හ්ම්!! පැංචි කිවුවට මෙයා හෙන දැනමුත්තියක් වාගෙ ;)

    ReplyDelete
  17. පෙම් පුරාවත කියෙවුවා ඉතින් එතනින් පස්සෙ වවුල්ස්ව දැලේ දා ගත්තද ? ඒ කතාවෙ හැටියටනම් වවුල්ස් දැලේ වැටිලා නැහැනෙ

    ReplyDelete
  18. මංචි වැරදියට හිතන්න එපා මේ කියන දෙය. සමහර මිනිස්සු ඉන්නවා බඳින්න කලින් 100ක් එක්ක විතර ඉඳලා බැන්දට පස්සේ ඒ ඔක්කොම කැත ගති අතෑරලා හොඳ වෙච්ච අය.

    මම කියන්නේ එහෙම හොඳ පවුල් ජීවිතරයක් ​ගොඩ නගාගන්න අකමැති අය නොබැඳ ඉන්න එක තමා කරන්න හොඳම තියෙන දේ.

    ReplyDelete
  19. අම්මප මන්චිටත් හිතෙන දේවල්....
    හරියටම හරි කතා ටිකක් බන් උබ කියල තියෙන්නේ එල.....මසුරන් දාන්න වටින කතාවක් නේ...
    එකට...තහනම් ගගේ ගෙඩි රසයිලු බන්...
    හිකිස්.......
    ඔන්න මට බනිනවා හෙම නෙවෙයි...

    ReplyDelete
  20. හම්මේ !!!!!! මාරම දිග ලිපියක් නේ.මම මේක දෙපාරට කියෙව්වේ. මට නම් හිතෙන්නේ දෙන්නා දෙමහල්ලෝ හොද අවබෝධයෙන් ඉන්නවනම් මේවගේ දේවල් සිද්ධ වෙන්නේ නෑ. අනිත් එක තමයි පවුල් ජීවිතය කියලා කියන්නේ ලිංගික ජීවිතයක නෙමෙයි නේ. ඊට එහා ගිය දෙයක් මේ පවුල් ජීවිතය ඇතුලේ තියෙනවා.

    දෙන්නා දෙමහල්ලන්ට යුතුකමක් තිබ්බ කොයිතරම් ආශාවල් තියෙනවා උනත් ඒවා අනිත් කෙනා වෙනුවෙන් යටපත් කරගෙන තියාගන්න. (හැම හැගීමක්ම නෙමෙයි. ලිංගික ආශාවල් කියන ඒවා)
    ඒකට තමයි ආදරය වෙනුවෙන් කැපවීම් කරනවා කියලා කියන්නේ. හැගීම් ආව පලියට ඒක නිදහස් කරගන්න යන්න ඕන නෑ.

    @මංචි :
    ඔය මකරයියා කියලා කියන්නේ අපේ නෙට්වර්ක් සර් හරිය. සර්ලා කියන දේවල් ශිෂ්‍යාවෝ අහන්න ඕනා හරිය. :)

    ReplyDelete
  21. සංවාදය ඉදිරියට ගෙන යෑම ගැන බලවත් ප්‍රීතිය.
    ජය වේවා

    ReplyDelete
  22. මට හිතෙන විදියට අවංකව දෙන්නට දෙන්නා ආදරේ කරනවානං ඕන ප්‍රශ්නයක් ඒක ලිංගික ජීවිතේට විතරක් නෙමේ ඕන දේකට අදාලයි දෙන්නා කතා කරලා විසඳ ගන්න පුලුවන් කියලා ........

    අනික පවුල් ජීවිතේ සතුට කියන එක රඳා පවතින්නෙ දෙන්නට දෙන්නාගේ තේරුම් ගැනීමේ හැකියාව මත .......

    මම මේ පැත්තෙ මීට කලින් ඇවිත් තියනවා උනාට මකුළු පැංචි මේ තරම් පණ්ඩිතයි කියලා හිතුවෙ නැහැනෙ හිහ් .. හිහ් ..

    ReplyDelete
  23. @නෙරංජි :
    මේ සිංදුව අහලනෙ මට අර නුඹට රිසි නම් යන්ට යන්නෙමි....... පෝස්ට් එක ලියන්ටත් නිමිත්තක් යෙදුනෙ..ඒකෙත් මේ වගේම සිද්ධියක් තියෙනවා..ඒකේ එන ''අමා'' කියන චරිතයත් හරිම හොඳ බිරිඳක්..සැමියට ඇගේ වටිනාකමක් නැහැ.. :((

    @සාතන් :
    ඉතින් සාතනෝ...මාත් තාම පවුලක් වෙලා නෑ නොවැ බොලං... තනිකඩ වුණත් අහන දකින දේවල් නිසා ඇතිවුණු අදහස්,මග ඇරුණු ඒවත් කියන්න කෝම හරි... අනික එකඟ නොවෙන තැනුත් ආසයි දැනගන්න...

    @..ChAnDiKa.. :
    අයියෝ එහෙම නෑ.... මට ලැජ්ජයි.... ^_^

    ReplyDelete
  24. @මකරා :
    මකරෝ..ඒ කතාවෙ හැටියටනම් එහෙම තමා වුණේ...
    ඒත් ඊට පස්සෙ තියෙන කතාවෙ දෙවෙනි කොටස ලියනවද නැද්ද කියලා තාම හිතුවෙ නෑ... :D

    @ගෝල්ඩ්fish :
    මොකට තරහා වෙනවද මාළු යාළු..හොඳට කියවලා බලන්ඩකෝ...මම කියන්නෙත් ඕකමනෙ.. :D
    බඳින්න කලින් 100ක් එක්ක හිටියත් බැන්ඳට පස්සෙ එහෙම කරන එක නරකයි කියලා තමා මමත් කියන්නෙ... (හැබැයි එහෙම කොල්ලෙට්ට බඳින කෙල්ලගෙන් ජපං කොඩියක් බලාපොරොත්තුවීම සපුරා තහනම්...!!!)

    @නරක සමනලයා :
    ආහ්හ්.හොය අහු වෙන්නෙ නරක සමනලයගෙ නරක අදහස් හිකිස්!! :D

    ReplyDelete
  25. @මධුරංග :
    ඔබ හරි...!! පවුල් ජීවිතේවත් එතන තියෙන සබඳතාවවත් හරි හැටි තේරුම් නොගැනීමෙනුයි මේ ඔක්කොම ප්‍රශ්ණ...
    ඒක නෙවෙයි මොකද්ද මේ මකරයියගෙ නෙට්වර්ක් සර් පට්ටම...??? :O

    @දුකා :
    ආහ්හ්...මේ දුකා අයියත් ඇවිදින්.. ඔන්න මෙතුමාගෙ ලිපියක් නිසාම තමා මෙහෙම පෝස්ට් එකක් බිහි වුණේ...තැන්කූ දුකා අයියේ... :D..මෙතනින් එහාටත් මේ සංවාදය තව තව තැන් වල මතු වේවා කියලයි මංචිගෙ පැතුම.. :))

    @පන්සල් හංදිය :
    ඇත්ත ඇත්ත...දෙන්න දෙමහල්ලන්ට ඉතින් කතාකරලා මොනවද විසඳගන්ට බැරි..තේරුම්ගැනීමක් ඇතුව ජීවත් වෙනවනම්...
    (හනේ..පන්ඩිත කමකට ලිව්වා නෙවෙයි ඉතින්...දුකාගෙ පෝස්ටුව දැකලා හිතුණු දේවල් තමා.. )

    ReplyDelete
  26. ආ ඒ කියන්නෙ මකුලු පැංචි වවුල්ස්ව කොහොම හරි දැලේ දාගෙන වගේ.

    මධුරංගලට විශ්ව විද්‍යාලෙදි මම Computer Networking ඉගැන්නුවා. ඒකයි ඒ පට්ටම

    ReplyDelete
  27. @මකරා :
    හිකිස්.... හනේ නෑ... මමනං දැලේ දාගන්න වැඩේ එතනින්ම අතෑරියා.. :D

    ආහ්හ්.... අනේ මකරෝ මටත් උගන්නන්න බැරියේ...??? මංචිත් ඔය නෙට්වර්කින් ගැන මළපොතේ අකුරක්වත් දන්නෙ නෑ.. :/

    ReplyDelete
  28. එහෙනම් වවුල්ස් බලෙන්ම ඇවිත් දැලේ වැටිලද කොහෙදො.
    මංචි රුසියාවෙ මොනවද ඉගෙන ගන්නෙ ? Medicine නෙවෙයිද ?

    ReplyDelete
  29. @මකරා :
    ආවෙනම් මෙඩිසිං ඉගෙනගන්න තමා මකරො.. :D

    ReplyDelete
  30. මේක මම මකුළු පැංචිට කොමන්ටුවක් දාන පලවෙනි වතාව.. :)
    පැංචි කියුවනේ මැදිවයස ලංවෙනකොට කාන්තාවන්ගේ ලිංගික ආසාව අඩුවෙනව කියල.. මම හිතන්නේ ඒකේ සත්‍යතාවක් නෑ.. වැඩියෙන්ම අවුට් යන්නේ ඔය වයසේ අය තමයි ;) බොරුනම් හොයලා බලන්න..

    ReplyDelete
  31. සිතුවිලි පාලනය කරගන්න පුලුවන්නම් දෙන්නා අතර ඇතිවන ගොඩක් ප්‍රශ්න මඟහරවාගන්න පුලුවනි..

    ReplyDelete
  32. මම අදයි හරියට කියෙව්වෙ කලින් දවසෙ උඩින් පල්ලෙන් බලලා ගියා විවේකයක් තිබුණෙ නැති නිසා.. ඔබේ අදහසට එකඟ වෙමි.. නමුත් වරදට සමාව දීම ගොඩක් ප්‍රශ්න විඳව විඳව ඉන්නවට වඩා හොඳයි

    ReplyDelete
  33. මේවා තම තමන් කල්පනා කරලා කරගන්න ඕන දේවල්...

    ReplyDelete
  34. මේකට මගේ අදහස් කියන්න ගියොත් වලි යනවා මෙතන... ඒකයි මම නොකියම ඉන්නම්... මට හියෙන ප්‍රස්නෙ ඇයි මිනිස්සු ඔය අනියම් සබඳතා කියන වචනෙ දාගෙන ඔව ගැන ඔය තරම් වද වෙන්නෙ.....

    ReplyDelete
  35. @charith :
    බොහොම ස්තූතියි වියමන පැත්තෙ ඇවිදින් අදහසකුත් කියලම ගියාට.. හිකිස්..මැදි වයස වෙද්දි ලිංගික ආශාව අඩුවෙනවය කියන එක වෛද්‍ය විද්‍යාත්මකව නම් ඇත්ත...වැඩියෙන්ම අවුට් යන එක ගැන කියනවනම්..මට හිතෙන්නෙ අවුට් යන සිද්ධි වලින් වැඩිපුරම සමාජයේ කතා බහට ලක් වෙන්නෙ මැදිවියේ අය සම්බන්ධ සිද්ධි කියලයි... :D

    @විසිතුරු :
    වරදට සමාව දෙන එක නම් හොඳයි තමා...ඒත් දැන දැනම වැරදි කරනවනම් සමාව දෙන්න ඕනෙද...??

    @RoshanHerath :
    ඒකනම් ඇත්ත...එහෙම බැරිවෙලා නිසානෙ මේ ඔක්කොම... :((

    ReplyDelete
  36. @Nadun Dissanayake :
    ඔව්..මේවා පුද්ගලික දේවල් තමයි.. අනේ ඔන්න පැංචි කාටවත් උපදෙසක් එහෙම දෙන්න නෙවෙයි මේ පෝස්ට් එක ලීවෙ..අනික් අයගෙ අදහස් දැනගන්නයි..මගේ පුද්ගලික අදහසයි තමා ඔය ලිව්වෙ.. :D

    @පොඩි මෑන් :
    අපෝ...වලිනං එපෝ.... :D

    ReplyDelete
  37. ඔය පුරශ්නෙට අනවබෝධය මුල් වෙනවා නම් ඒ අනවබෝධය වළක්වාගන්න එකිනෙකාගෙ වෙනස්කම් වලට ගරුකරන්න ඕන කියල ගෙඹි පැටියට හිතුණා...

    ගැහැණියෙක් සහ පිරිමියෙක් කියන්නෙ අහසයි පොළොවයි වගෙ කවදාවත් කොහොමවත් ගළපන්න අපහසු චරිත දෙකක්. එහෙම දෙන්නෙක් ස්වභාවධර්මයේ අවශ්‍යතාවය මත එකතු කරනවා ප්‍රේමය, ලිංගිකත්වය වගේ හැඟීම් හරහා...මේ ප්‍රාථමික හැඟීම් වලට වගකීම්, සදාචාරය වැනි ද්විතියික කාරණා එකතු වෙනවා මනුෂ්‍යයා ශිෂ්ට සම්පන්න වෙනවත් එක්කම. මේ කොයිදේ තිබුණත් ඒ දෙන්නා අමතක කරනවානම් දෙන්නා ආවේ දොලොවකින් කියාලා...වෙනත් විදියකින් කියනවානම් එකිනෙකාගේ සිතුම් පැතුම්, චර්යා රටාවන්, රුචි අරුචිකම් වල ස්වභාවයෙන්ම පවතින වෙනස්කම් හඳුනගෙන ඒවාට ගරු නොකරනවානම්, නොඉවසනවානම්, ඒ වග අමතක කරනවානම් අවසානය භයානක වෙන්න පුලුවනි.

    බඳින්න කලින්ල love කොරන කාලෙදි තමන්ගෙ සහකරු හෝ සහකාරිය හැමදේකින්ම සම්පූර්ණ කෙනෙක් විදියටත් බැන්දට පස්සෙ ටිකෙන් ටික අඩුපාඩු ඇති කෙනෙක් විදියටත් පේන්නෙ මේ නිසා කියල හිතුණ නිසා මේ සබැඳියත් මෙතැනට ඈඳන්න අවසරයි.
    http://gebipatiya.blogspot.com/2011/07/01.html

    ReplyDelete
  38. ප්‍රථම දරැවා ලැබීමෙන් පසුව බිරිදගේ සම්පූර්ණ අවධානය දරැවාට යොමු වීම ස්භාවිකය. නමුත් ස්වාමියාගේ තේරැම් ගැනීම හා ලද අවස්ථාවන්හි ස්වාමියා ලගම සිටීම මගින් බොහෝ අසාර්ථක වීම් අවම කල හැකි බවයි සෑමාගේ අදහස..

    හොද පෝස්ටුවක් මකුලී

    ReplyDelete
  39. බොහොම වටින සහ අද සමාජයේ කතාබහක් ඇති විය යුතුම ලිපියක් ....

    ReplyDelete
  40. සමාව දීම මගින් බොහෝ ප්‍රශ්න වලකා ගන්නට මෙන්ම අනික් පාර්ශවය නිවැරදි කරගන්නටත් හැකි බව ඇත්තකි...හැබැයි මෙහි සඳහන් හේතු වලට අමතර වෙනත් හේතුද මෙවන් ප්‍රශ්න වලට හේතු විය හැකි බව දැක ඇත්තෙමි..උදාහරණයක් ලෙස මම දන්නා පවුලක බිරිඳට ස්වාමියාව එපා වුනේ ඇය ඉතාමත් තමන්ගේ පවුලට (අම්මලාගේ) ලැදි කෙනෙක් ලෙස ජීවත් වෙන්න උත්සහ කරනවිටදී ස්වාමියා තරමක් නිදහස් වෙනම පවුල් ජීවිතයක් බලාපොරොත්තු වීම නිසායි..ඇයට තමන් දැන් වෙනම පවුලක් යන අදහස දරාගන්නට අපහසුවූ අතරම ස්වාමියා තමන්ට රිසි පරිදි තමන්ගේ ප්‍රධාන පවුලේ කොටසක් වීමට අකමැති වීම මෙවන් සම්බන්ධයකට හේතු විය..කවුරුන් නිවැරදි දැයි හිතා ගන්නට අපහසුය...

    ReplyDelete
  41. මෙහෙමයි මේ වගේ දේවල් කවුද හරි කවුද වැරදි කියල කවුද හොඳ කවුද නරක කියල ඉරි ගහල වෙන් කරන්න පුලුවන් දේවල් නෙවේ. අනියම් සබඳතා ඇතිවෙන්න හේතු විදිහට හේතු ගොඩාක් තියෙන්න පුලුවන්. ඒත් කිසිම හේතුවක් නැතිව ඒ වගේ දේවල් ඇතිවෙන්නත් පුලුවන්. මිනිස්සු හිතන පතන විදිහ මිනිස්සු හැසිරෙන්න ඕනෙ විදිහ කොච්චර සංස්කෘතිය ආගම වගේ දේවල් වලින් සීමා කරන්න හැදුවත් ස්වභාවිකව මිනිස්සුන්ට ලැබිල තියෙන ආශාවන් සමනය කරන්න අමාරුයි. අනික එවැනි සබඳතා හොඳද නරකද කියල විනිශ්චයක් දෙන්න පිට අයට කොහොමත් බෑ. සමහර විට ඒ සබඳතා තුල තියෙන්නෙ පිරිසිදු ආදරය වෙන්න පුලුවන්. ඒත් ඒ වගේ දේවල් වලින් වෙන්නෙ හිත් රිදවීම් පමණයි. ඒ නිසා ඒව පටන් ගන්න හිතන කොටම ඒ අදහස හිතෙන් මරල දාන්න ඕනෙ. අපි සමාජය දිහා රාමුවක් තුල ඉඳගෙන බලන්නෙ නැතුව මානුෂීය විදිහට බලනව නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...