මහද කෙම්බිම මැදම නිම්නෙක
ගැලූ ජීවන ගඟුල අභියස
කෙදින කවදා පාව විත් නුඹ
රැඳුනිදැයි නොම දනිමි තව මම...
එමතු හද පටකයන් අතරින
හෙමි හෙමින් මුල් රිකිළි ඇද ඇද
දින දිනම තිර ලෙසින් හද බිම
වැඩුණු හැටි නුඹ හොඳින් මතකය...
පිරුණු පිවිතුරු හැඟුම් ''ප්‍රේමය''
නමින් අබිසෙස් දෙමින් දිවි ගඟ
යළිඳු නොහැරෙන ලෙසින් නුඹ වෙත
බැඳුනෙ කෙදිනද නිනව් නැත මට...
නමුදු නුඹ හදවතින් පිබිදුන
සොඳුරු ආදර කුසුම සෙනෙහෙන
මගේ දෝතට නෙළා දුන් ඒ
දිනය අමතක නොවේ.... ඒ අද...!!
එකල හද මල තුටින් ඉපිළින
සතුටු කඳුලින් දෙඇස දිළිසෙන..
විටදි තව තව මවෙත තුරුලුව
නුඹ ද හද බිම පුරා විහිදින...
නැඟුණු මුත් උණු කඳුලු ඉඳහිට
සිනා මිස ඒ කඳුලු කම් නැත
ආදරෙන් ඉතිරෙන උදම් වන
මතකයට පමණෙකි හදේ ඉඩ...
''සෙවිමි ගඟුලක් පිරුණු සෙනෙහස..
නුඹය ඒ සිහිලැල් නදී තෙර...
ඉඳින් නුඹ නැති හෙටක් මට නැත...''
මිමිණු නුඹේ හඬ ඇසේ තව මට...
නමුදු නොමසිතු නොවිරූ දිනයෙක
සිනා බිඳිමින කඳුලු මතු විය..
''අපට අප හිමි නැතිය..දෙමගක
වෙන්ව යමු..''.....ඒ නුඹේ හඬමද....???
හැපී හැපී ගං තෙරෙහි නුඹ ලඟ
නඟා රැළි හඬ-හඬා වැළපිණ
එමතු සුවිසල් රුකක් වූ නුඹ
බිඳක් මුදු කඳුලෙකින් නොසැලින...
ඉතින් නික්මෙන රිසින් මහදින
මුදන්නට කා වැදුනු මුල් රැස..
සැරෙන් වැරයෙන් අදින කල නුඹ..
මහද සහසක් කඩට වෙන් විය..
තවත් අහුලාගන්න සරිලන
බිඳක් වත් එහි නොමැත ඉතිරිව..
නුඹේ සෙවණින් තොරව වියලුන
ගඟෙත් අද බිම් ලකුණු පමණය..
නමුදු තවමත් පැරණි ඉවුරක..
හෙමින් වැළපෙන මදනලක් ඇත
ඇසූනු මොහොතක බිඳක් නුඹේ හඬ..
සිනාවක් දිදුලයි ඇගේ නෙත....!!!!
෴මංචි෴
2012.02.22
(වෙන කොහෙදි හරි වෙනත් නමකින් මේ කවිය කියවලා තියෙනවනම් ඔන්න..ඒත් වෙන කවුරුවත් නෙවෙයි ඒ මංචිම තමයි හොඳේ....)
මංචි කීවම මතක් වුනේ අරණකට පෙම් බැඳ,
ReplyDeleteපින්තූරෙත් ඒ වගේනෙ,
":))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))"
ehenam mata thank you :)
බොරු කියන්ට ඕන නෑනෙ,
Deleteහරියට කියෙව්වෙ දැන්.
ලස්සනට ලියල තියනව,
මොකද කියන්නෙ ලියමුද සිංදුවක්?
ගස කී කව.
මමත් අසරණ වූව වග ගඟ
නොදන්නා බව දන්නෙමි
ඒ වගත් නොකියුවේ හරියට
නුඹට ඇති පෙම නිසාමැයි
තවත් කල් නුඹ අසල සිටියත්
එක්නොවේමය අප සදා
ඒ නිසාවෙන් තවත් දුක් ගොඩ
නොදී යන්නෙමි නුඹ දමා.
දමා නුඹ මා ගියත් ඈතට
නොයෙක් වන් මිණි ඇති ලෙසින් බිම
සදා සුන්දර තැනක මගෙ හද
රැදේ නුඹගේ සොඳුරු ස්නේහය.
එතකොට ඒක එහෙමයි වුනේ?... Welcome Back...
ReplyDeleteහ්ම්ම්...
ReplyDeleteපදපෙළ හරි හැඟුම් බරයි
ඒ යට තියෙන විරහවේ වේදනාව දැක්කහම සිතුවිලි එහෙමෙහේ යන ගතියක් දැනුනා
අතීතයට.....
හ්ම්.... කාලෙකින් ඇවිත් දුක හිතෙන කතාවක්නෙ කියලා තියෙන්නෙ.... :((
ReplyDeleteසෑහෙන්න කාලෙකට පස්සෙ :)
ReplyDeleteකවිය ලස්සනයි ............
ඒ කියන්නේ අළුත් අදහස් දැන් පහළවෙන්නේ නැතුවවත්ද? :)
ReplyDeleteකාලෙකට පස්සේ ආපහු ඇවිත් තියෙන්නේ...
අන්තිම කවිය ලස්සනයි අක්කේ...ඒක සෑහෙන්න හිතට වැදුනා....
ReplyDeleteඔයාගේ කවි ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඒත් කවියට හේතු උන කාරණා ගැන මම ඔයාට ගොඩක් දේවල් කියලා තියෙනවා.. ඒ ගැන ටිකක් හිතන්න..
ReplyDeleteහ්ම්... කාලෙකට පස්සේ මංචි ලියන්න ගත්ත එකට නම් ගොඩක් සන්තෝසයි.. ආදරේ කියන්නේ එක තණ්හාවක්.. සමහර විට ඒ ඇලීම එක කඳුළු ගංගාවක මුලක්..
ReplyDeleteමං හිතුව බ්ලොග් එකේ මකුළු දැල් බැඳිච්ච විධියට ලිවිල්ල අත ඇරල කියල...හෙහ්...හෙහ්...
ReplyDeleteනමුදු තවමත් පැරණි ඉවුරක..
ReplyDeleteහෙමින් වැළපෙන මදනලක් ඇත
ඇසූනු මොහොතක බිඳක් නුඹේ හඬ..
සිනාවක් දිදුලයි ඇගේ නෙත....!!!!
හ්ම්ම්.. මේ දුක මමත් හොඳට දන්නවා අක්කියෝ.. ඒත් හැම වෙලාවකම සතුටින් ඉන්න උත්සාහ කරන්න.. ගිය දේවල් ගැන හිතලා දුක් වෙලා වැඩක් නෑ..
අම්මෝ දැක්ක කල්?
ReplyDeleteලස්සනයි කවි ටික///
මේකට කවියකින් කොමෙන්ට් දාන්න ගියොත් සතියක් දෙකක් යාවි මොකද මම කවි වලට ඒ බෝඩ් නිසා. ඉතින් කවිය නම් ඉතා හැඟුම් බරයි කියලා කියන්නම්.
ReplyDeletehenryblogwalker the Dude
අම්මෝ .. දැක්ක කල් ..කොහෙද හිටියේ... කොහේ හිටියත් නිකන් ඉඳල නෑ .. කවි තාමත් තරුණයි ...
ReplyDeleteමේ කවි ටික ලියන්න හේතුව මම් දන්නවා !!!
ReplyDeleteදුක තමයි රංජනී !!