ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ලේ නහර ඇට මිදුළු විනිවිද...රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය....


ඇත්ත.....

ඔයා මගේ ප්‍රථම ප්‍රේමය නෙවෙයි..

ඒත් නොතේරුම් කාලෙ තිබ්බ වචනෙන් දෙකෙන්  පැණනැංග සරල ප්‍රේම කතාවලට වඩා…මුල්ම වතාවට ඇහැටවත් නොපෙනෙන පුංචි සෛලයක් වගේ හදවතේ කොනක ඉපදිලා  මහා වනස්පතියක්  වගේ වෙනකල් හිත පිරෙන්න ආදරයක් ඇති වුණානම්.. මම මටත් වඩා වෙන කෙනෙකුට ආදරේ වුණානම් ඒ ඔයාට….


ඉතින්… මගේ ප්‍රථම සැබෑ ප්‍රේමය ඔයාම කිව්වත් වරදක් නෑ….


ඔයා ගිහින් අවුරුදු අටක් ගෙවුණු තැන අද මම ආයෙමත් හැරිලා බැලුවා… ආපහු බලන්නෙම නෑමයි කියල ශපථ වුනත් බලන්නම හිතුණු දවසක් ආවා...



හදවත ආයෙමත් පිරිල තිබුණත් ප්‍රථම ප්‍රේමය කියන්නෙම මොන තරම් ඇට මිදුළු ලේ නහර වලට කාවදින හැඟීමක්ද කියලා මේ මොහොත වෙනකල්ම මට ඒත්තු ගැන්විලා තිබුණෙ නෑ..


හැමදාමත් වගේ මගේ දුක සතුට සැමරුම් ලඝු කරගෙන උන්නේ මගේ අකුරු… අද මට ඒ හංගලා තිබ්බ මතක ආපහු ගෙනැත් දුන්නෙත් ඒ අකුරු... 

.
.
.
.

ඒ ඔයා ඈත් වෙලා මම තනි වුණු මුල්ම දවස්….


ඇත්තටම මුල දවස් වල එච්චර දුකක් දැණුණෙ නැ… හරි පුදුමයි…


ඒත් ඒක හරියට පිහි පාරක් වැදුණු ගමන් මුකුත්ම හිතාගන්න බැරි සිරුරක් වගේ.. කම්පනයක්… නිර්වින්දනයක්…




ඉස්සර වගේ නැතත්...ඔයා කතා කළාම තවමත් පුංචි බලාපොරොත්තුවක් හිතේ දැල්වුණත්…


ඒ වගේ දවසක් උදා වුණේ කල්පෙකට සැරයක් වගේ වුණත්…. ඒ කතා කළ හැම මොහොතක්ම මට මහමෙරක් වගේ වටිනා කාලයක්….



ඒත් ඒ වගේ පුංචි සතුටකට පස්සෙ ලොකු දුකක් දෙන්න ඔයා අතින් කවදාවත් මග ඇරුනෙ නෑ…



ඉස්සර අපි දෙන්නම හරිම ආසයි වැස්සට… අපේ ආදර කතාවෙ වැඩිම කාලයක් ගෙවුණෙ හිම දිය වෙලා ගිහින් නොහිතන වෙලාවල් වල වැස්ස කඩාවැටෙන කාලෙ නිසාමද මංදා අපි දෙන්නගෙ මතක ගොඩක් තිබුණෙත් වැස්ස එක්ක…


ඒත් දැන් මේ වැස්ස දකිද්දි ඉස්සර වගේ සතුටින් ඉපිලුණේ නෑ මගෙ හිත…


ඒ වෙනුවට හැම තැනම මතු වුණේ අමතක කරන්න හදන අපේ මතක… 



ලස්සනම ලස්සන ඩැෆොඩිල්…. රතුම රතු පාට පොපිමල් වලින් ඒ බිමේ අඩුවක් නැතිබව ඔයා දන්නවනෙ… ඒත් දැන් මම ආසම වසන්ත කාලය පවා ඇස්වලට අරන් ආවෙ කඳුළු විතරයි…




ඒ මල් පවා කතා වුණේ අපි දෙන්නගෙ මතකයන් ගැන...



අපි ආපහු මුණගැහුණු දාක ඔයාට ඒවා මතක තියේවිද කියලා මට නිතරම හිතුණා…. 



ඇස් දෙක රිදෙනකම්… පපුවෙන් ලේ ගලනකම් අඬලා වැලපිලා තව අඬාවැටෙන්න කඳුළු පවා නැති වුණු දවසට මට ඔයා එක්ක පුංචි තරහක් නොආවම නෙවෙයි…  


අනේ මටත් ලෙයින් මසින් හැදුණු හදවතක් තිබුණු බව ඔයාට හිතුණෙම නැද්ද….




ඒ වගේ දුකින්ම හෙම්බත් වුණු වෙලාවකට හිතුණා ඔයා මට ආදරේ නොකලාවත් ද කියලා…




තව දෙසැම්බරයක දොලොස් වෙනිදාවක් ආවා.. ඔයා ගිහින් අවුරුද්දක්…

මේ අවුරුද්ද හරියට ලැව්ගින්නක්...අසනි වැස්සක් වගෙයි…. 




ඔයා මට දීපු ආදරේ වගේම අනික් හැම දෙයක්ම මගේ ලඟ තවමත් පරිස්සමට තිබුණා… 


ඒත් මම ඔයාට දීපු සැමරුම්… ඒ හැම දේකම පිට වටිනාකමක් නැති වුණත් මගේ ආදරේ කොටසක් හැංගිලා තිබ්බ බව ඔයා අදටත් නොදන්නව වෙන්න ඇති…


ඔයා මෙලහකට ඒ හැමදේම පුච්ච්ලා විසි කරලා දාලත් ඇති.. එහෙම හිතද්දි දැණුනු වේදනාව මෙන්න මෙහෙමයි කියලා කොහොම කියන්නද මම…





ඔයාගෙ හිත වෙන තැනක නැවතිලා කියලා මට වෙන කාගෙන් හරි අහන්න ලැබුණා නම් මට දුක හිතෙයි තමයි….


මට ඒ ආරංචිය කිව්වෙ ඔයාමයි…. දුකකට වඩා හදවතක් විනාශ කරන්න තරම් සංවේදනාවක් විශ්වයේ වෙන ඇත්නම්...ඒ එදා මට දැනුණු දේ වෙන්න ඇති...


මේ තරම් අවාසනාවන්ත ආදරයක් ලෝකේ කාටවත් නොතිබෙන්නට ඇති කියලා මගෙ හිත මට කිව්වා…. 


ඒත් ආදරය මහ පුදුම හැඟීමක්… තමන්ගෙ සතුටට වඩා තමන් ආදරේ කරන කෙනාගෙ සතුට දැකලා මහමෙරක් ඉවසන්න පුලුවන් හැඟීමක්….!!


ඉතින් මම ඉවසුවා.... ඔයා සතුටින් ඉන්නවා බලල හිනා වුණා...




ඔයා මගේ වුණා නම්… අපි ආදරෙන් සමරන්න බලාගෙන උන්නු දවස් තවමත් එනවා… 


කොච්චර දැන් මගේ නෙවෙයි කියලා හිතුවත්… මගේ වුණානම් කියලා හිතන එකම පවක් ද කියලා හිතෙනව….


ඔයා මොහොතකට ලඟ උන්නා නම් කියලා හිතෙනවා….. 


කාලය බොහොම අමාරුවෙන් ගත වෙලා ගියා...ඊට පස්සෙත් ආපු හැම සීත කාලෙකම… ඔයා මගේ හැම හුස්මකම හිටියා...



හැම ගිම්හානෙකම…හැම වසන්තයකම…. ඔයා මගේ හිතේ නොහිටි මොහොතත් තිබුණේ නෑ….


ඇත්තටම ඒක හිම කුමාරිගෙ ශාපය වගේ... මගේ ඇස්දෙක ඔයාව මිස ඍතුවක ලස්සන දැක්කෙ නෑ....




අපේ ගෙදර පිටිපස්සෙ පාර දිගේ අපි ගිය ගමන් ඔයාට මතකද… ලෙනින් එදා වගේම ලොකු කල්පනාවක…. චෙරි මල් වෙනදා වගේම සුවඳයි…. මම තවමත් එදා වගෙමයි….




මම එතනම ඉද්දි...ඔයා තව අතක පැටලිලා ගොඩක් දුර ගිහින්…. 



මට වෙලාවකට හිතුණා මට පිස්සු හැදිලාවත් ද කියල…. ලඟ පාතකවත්නැති ආදරයක් ගැන මේ හැටිම වැලපෙන්න… 




ඒ නිවාඩුවට මම ගෙදර ආවේ අපි දෙන්නගෙන යාලුවො දෙන්නෙක් අතිනත ගන්න ලස්සන දවසට සහභාගි වෙන්නත් හිතාගෙන…


ඔයාව හමුවේවි කියලා දැනගෙන උන්නත්…. ඒ දවස මගෙ හදවතේ සුව නොවෙන කැළලක් ඇති කරයි කියලා මට නිකමටවත් දැනුණෙ නෑ ඇත්තමයි…. එහෙම දැනුණා නම් ඇත්තමයි මම එන්නෙ නෑ...


ඒ දෛවෝපගත දවසෙ ඔයාව මම දැක්කේ ඔයාගෙ හිත අයිති කරගත්ත ඇය එක්ක…. 


මගේම අත් දෙකෙන් හරිම ආදරෙන් ඔයා වෙනුවෙන්ම තෝරපු ඇඳුමින් ඒ පුරුදු හිනාවෙන්ම ඇය ලඟම ඉන්න ඔයාව දැකලා මට හිනා වෙන්න පුලුවන් වුණු එක ගැන පුදුම නෑ මට…


මගේ හදවත ඒ වෙලාවෙ පැය කීපෙකට හරි මැරෙන්න ඇති… එදා වුණු කිසිම දෙයක් මට හරියට මතක නැත්තෙ ඒක වෙන්න ඇති…


එදා අනුරාධපුර - කොළඹ ඉන්ටර්සිටිය ආවේ හරිම වේගෙන්… මගේ වේදනාවෙන් දශමයක් අඬලා ඉවර කරගන්න වෙලාවක් ලැබුණෙ නෑ මට….




ඊට දවස් කීපෙකට පස්සෙ ඔයාගෙ උපන්දිනේට මම ඔයාට සුබ පතනකොට මම දැනගෙන හිටියෙ නෑ ඒ මම ඔයාට කතාකරන අන්තිම දවස වෙයි කියලා….


මම ඔයාල දෙන්නටම කරපු වරදක් නැතත්… ඔයා හාවක් හූවක් ඉඟියක් සටහනක් නැතුවම මගෙත් එක්ක ඇඳුනුම් කම් පවා අත ඇරලා තිබ්බා…




අතේ තිබ්බ අරලිය මලේ පෙත්තෙන් පෙත්ත ගලවලා..ඉතුරු වෙන පෙත්ත කාගෙද කියලා බලලා හිතේ පුංචි බලාපොරොත්තුවත් ඇති කරගන්න මට ඕන වුණා….


ඒත් ආයෙමත් හිතුණා මල් පෙත්තකට රිද්දලා මම මොනවා අලුතින් හොයාගන්නද කියලා…


කවද හරි මේ දවස එන බව මම දැනගෙන උන්නත්… දරාගන්න එක හිතු තරම් ලේසි නොවුනු බවත්...ඒ වගේම ඇත්තක්…




…….වැරදිලා ගිය කෙටි පණිවිඩයකින් ඇරඹුණු….. අවුරුදු හතරක් තිස්සෙ මොනවා කතා කළාද කියල අපිවත් නොදන්න තොරතෝංචියක් නැති අපේ කතා බහ නිමා වුණේ එතනින්..




නිවාඩුව ඉවර වෙලා ආපහු අපේ මතක රැඳුණු බිමට ආවම ඒ බිම දැණුනෙ පාලුවට ගිය අමු සොහොනක් වගෙයි මට… 


ඒත් ඇත්තටම පාලු වෙලා තිබුණෙ මගෙ හදවත…


ඊට පස්සෙත් කාලය ඔහේ ගෙවිලා ගියා…. 

ජීවිත් වීමත් මහ බරක් වගේ දැනුණත්… වෙන විසඳුමක් තිබුණෙ නෑ…


ඉඳහිට ඔයාගෙ නම තැන් තැන් වල කිය වුණා…


කරන්නෙ වරදක් බව දැන දැනම වුණත් මුහුණු පොතෙන් හරි ඔයා ගැන නොසොයා ඉන්න මට බැරි වුණා...




මම අඬපු කඳුලු ගැන ඔයාට වගක් නැති බවත්…. ඔයාට වටිනාකමක් තිබුණු තැනක ඔයා නැවතුණු බවත්… තවත් සමහරු මට කිව්වා… 




ඒත් මට ඔයාව මකල දාන්න පුලුවන් වුණේ නැ… හිස් වුණු හදවතින් අපි ආගිය තැන් වල මම තනියම පිස්සියක් වගේ ඇවිදපු වාර අනන්තයි…. 


හැමෝටම…. ඔයාට පවා මාව අමතක වුණත්… මට මගේ හදවතට ඔයාව අමතක වුණේ නෑ….




ඔයා මෙහෙන් යද්දි අන්තිම දවසෙ ඇඳගෙන හිටපු ස්වීටර් එක මතකද... එදා ඉඳන් අද වෙනකල්ම මගේ හිස තියන කොට්ටෙ යට මගේ ළඟම තිබුණා….


නින්ද නොයන ගොඩක් රෑ දවස් වල… මගේ ලඟ තිබ්බෙ ඒ ඔයාගෙ සුවඳ විතරයි…


ඒ දුක මොන තරම්ද කියලා ඔයා දන්නෙ නෑ…. ඔයාට හිතාගන්නවත් බෑ… 




ඔයා නොදන්නව වුණාට ඔයාගේ උපන්දින මට කවදාවත් මගඇරුනෙ නෑ… ඒත් මට හදවතින් මිස වචනින් සුභ පතන්න අවසර තිබුනෙ නෑ…. 


ඒත් ඒ හැම දවසකම මම වෙනුවට මගේ අකුරු කතාකලා..





(ඊට පස්සෙ අවුරුදු වලත් මට අමතක වුණේ නැ… ඒත් පහු කාලෙක සමහර බැඳීම් වලට වරදක් කරන්න බැරි නිසාම මගේ අකුරු පවා නිහඬ වුණා… ඒත් සිතුවිලි නවත්තන්න කාටවත්ම බෑ කියන එකත් ඇත්තක්….)


මගේ හදවත බිඳුණත්…මුණගැහුනු සමහර හිත් වල ආදරේ...ලෙන්ගතු කම් නොතිබුණාම නෙවෙයි…


ඒත් එක ගින්නක් නිවෙන්නත් කලින් ආපහු ගින්දරකට පනින්න තරම් උඹ මෝඩද කියල මගෙම හදවත මට තරවටු කළා…




මම වෙනස් නොවුණත් කාලය ගෙවිල ගියා....


අපේ ලස්සන කතාව කියැවුණු ඒ බිමෙන් ඉගිලිලා එන්න මට දවස උදා වුණා…


ඒ දවස ඇත්තටම සතුටක් සැනසීමක් වෙයි කියල කාලයක් තිස්සෙම හිතාගෙන උන්නත්...එහෙම වුණේ නෑ….


ඔයා වගේම අපේ මතකයන් රැඳුණු ලස්සන නගරයත් මගෙන් ඈත් වෙලා යන එකම මොන තරම් වේදනාත්මක අහිමි වීමක්ද…..




ඉතින්...මව් රටට ආවයින් පස්සෙ...විභාග… ගමන් බිමන්… යාලුකම්...නෑකම් අතර මට ඔයා මග ඇරෙයි කියලා මම ඇත්තටම හිතුවා….


ඒත් කොච්චර ඉවසුවත් අපේ හිත් යා වුණු ඒ දවස ආවම වතුරෙ ගිල්ලපු රබර් බෝලයක් අතෑරිය ගමන් උඩ එනවා වගේ ඔයා ගැන මතකය මගේ ඉස්සරහ පෙනී හිටියා..


තවත් දුක්බරව…. තවත් පැහැදිලිව….




ඔයා මාව දරාගන්න බැරි දුකක තනියම විඳවන්න අත ඇරලා ගියත්…. ඔයාගෙ ජීවිතේ දුකක් කරදරයක් බව අහන්න ලැබුණම… දුවගෙන ඇවිත් සනසන්නමයි මට ඕන වුණෙ…




ඒත්…. නීතියෙන් වගේම හැඟුමකින්වත් මට ඔයා ගැන අයිතියක් නැති බව මට කිව්වෙ ඔයාමයි ඒ ඉස්සරම දවසක….




මරා දාන්න බැරිම වුණත්...රන්මුවා කූඩුවක මගේ ආදරේ හිර කරල තියන්න අන්තිමදි මම තීරණය කළේ ඒ නිසයි…


ඒත් ඊට කළින් එකමෙක වතාවක් ඔයාව දකින්න තිබුණා නම් කියලා මම සිය දහස් වතාවක් හිතුවා..




ඉතින් ඒ සතුටට වඩා දුක් විඳින්නම උපන්න ප්‍රේමය… මම ආපහු සැහැල්ලුවෙන් හිනා වෙන්න පුරුදු වුණත්… හදවත තවත් ආදරයකින් පිරුණත්...මගේ අවසන් හුස්ම වෙනකල්ම හදවතේ කොණකම හරි නොමැරීම ඉදීවී…..


ඇයි ඒ කියලා ඔයා දන්නවද..?… 


අපි උස් මහත් කළ ප්‍රේමය ඔයාටත් මටත් වඩා හරිම ශක්තිමත් නිසා…!!


අපි දෙන්නම වෙනස් වුණත් එයා වෙනස් නොවුණේ ඒ හින්දයි….!






No comments:

Related Posts Plugin for WordPress, Blogger...