ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

පිළිලය.... 3 (අවසාන කොටස)








     ඇමතුමේ අනෙක් පසින් නැගී ආවේ උපුලිගේ මවගේ කටහඬයි....

     පුතේ ඔයා තාම මගද...?? ඈ ඇසුවේ දුර්වලව ගිය ස්වරයකිනි....

     නෑ අම්මේ මම මේ හොස්පිට්ල් එක ගාවම...රෝහල් වීදියට රථය හරවමින්ම ඔහු කීවේය..මම ඉක්මනට එන්නම්...

     ඔහු රෝහලේ කොරිඩෝව දිගේ දිව ගියේ පිස්සෙකු මෙනි..

     පුද්ගලික රෝහලක් වූයෙන් එහි ලෙඩින් බැලීමට නියමිත කාල කඩයිමක් හෝ බාධකයක් නොවීය...වෙලාවට නර්සිං හෝම් එකටම එක්කං ඇවිත්..ඔහුට මද අස්වැසිල්ලක් දැනුණි...

     මාතෲ ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ලඟා වෙද්දි ඔහුගේ හදවතේ ගැස්ම ඔහුගේම දෙසවනට ඇසෙන තරම් විය..

     සිය නැන්දනිය රතු බල්බයක් දැල්වෙන කාමරය අසල පුටුවක් තබාගෙන සිටිනු ඔහුට දකින්නට ලැබිණි...

     අම්මේ.....කෝ උපුලී.....අනේ මට එයාව බලන්න ඕනෙ.....මොකද්ද වුණේ...ඇයි හදිස්සියෙම හොස්පිටල් ගේන්න වුණේ..??ලිස්සලා වැටුණවත්ද??.....මොකක් හරි කරදරයක් වුණාද...??....

     නෑ පුතේ...අනේ ඩිංගක් කළබල නොවී ඉන්න...කෙල්ලව තියටර් එකට ගත්තා පුතේ...
     
     මොකුත් නැතුව උදේ හොඳට උන්නා..මට කියල බත් පිඟානකුත් කවා ගත්තා....මම කුස්සියෙ කිරි එකක් හද හදා ඉන්නකොට තමා කෙල්ල කෑ ගහනවා ඇහුනෙ..වෝටර් බෑග් එක කැඩිලා.. ඒ වුණාට ඒත් එක්කම ලේ පිටවෙලා තිබුණා..මම බය වෙච්ච පාර උඩහ ගෙදර සෝමසිරිගෙ වාහනේ දාගෙන ඉස්පිරිතාලෙ ගෙනාවා...ඒ වෙලාවෙම ඇතුලට ගත්තා..තාම මොකුත් ආරංචියක් කීවෙ නෑ....අනේ පුතේ මගෙ පපුව පිච්චෙනවා..මයෙ කෙල්ලටයි කිරි කැටියටයි අනතුරක් වෙයිද කියලා....අනේ දෙයියනේ නරකක් නං වෙන්න එපා..කොයි තරං පෙරුම් පිරුවද දෙයියනේ මයෙ කෙල්ල අම්මා කෙනෙක් වෙලා ඉන්නවා දකින්න......

     ප්‍රසන්නට ඇසුණේ උපුලිගේ මවගේ විස්තරයේ මුල් කොටස පමණකි...හිස කැරකීගෙන ආ හෙයින් ඔහු පිඟන් ගඩොල් සවිකළ සීතල බිත්තියට අතක් ගසාගත්තේ ය...දෙවියනේ...කුමක් සිදු වේද...??

     අනේ උපුලිට නං කරදරයක් වෙන්න එපා... උපුලිටනං කරදරයක් වෙන්න එපා...අනේ මගේ කෙල්ලට නරකක් සිද්ධ වෙන්න නං එපා.... 

     එක තැන ඉඳගෙන සිටින්නට සංසුන් කමක් නොමැති වූයෙන් ඔහු කොරිඩෝව දිගේ ඉහල පහල ඇවිද්දේය....ගිනි පාගන්නාක් මෙන් ඔහුගේ පියවරක් පියවරක් ගානේ අනේක විධ සිතුවිලි සමග නැග ආවේ බිය නමැති ගින්නයි...උපුලිගේ ජීවිතයට හානියක් සිදු වේද...?? ඔරලෝසුවේ කටු කැරකුණේ ඉබි ගමනිනි.....

     උපුලිගේ දැඩි ඉල්ලීම නිසා තමා දරුවකු හැදීමට එකඟ වූ සැටිත්...මාසයකට පමණ පසු ඇගේ කුසට අමුත්තකු පැමිණ ඇති බැව් ඇය තමාට රහසින් මෙන් පැවසූ හැටිත් ඔහුට සිහි වුණේ...ඈත අතීතයක දුටු සිහිනයක් ලෙසිනි..එදින උපුලී සිටියේ මොනතරම් සතුටකින්ද...රටක් රාජ්ජයක් ලද දිනක මෙන් ඈ ඒ ගැන දහසක් පැතුම් රැස් කළා නොවේද...?? 

     පුංචි පුංචි කොට්ටා උර මසමින්..කුඩා කුඩා සෙල්ලම් බඩු රැස් කරමින් ඈ සිහින මැව් හැටි...ප්‍රසන්න ඈව පරිස්සම් කළේ ඇස් දෙක මෙනි...ඇගේ මව නිවසට ගෙන්වාගත්තේද වැඩි පරිස්සමටය..මාස කිහිපයකින් කරගත  හැකි,දරුවා දුවෙකුද පුතෙකුදැයි දැනගත හැකි ස්කෑන් පරීක්ෂාව පවා කරගත්තේ උපුලිගේ දැඩි ඉල්ලීමටය..එයින් පවා සිය දයාබර බිරිඳටත් දරුවාටත් අනතුරක් වේදැයි ඔහුගේ සිත බිය වූවා නොවේද,...??

     එච්චර පරිස්සම් වෙලත් මෙහෙම වුණේ ඇයි....??? හදිස්සියේම ඔහුට ඇගේ කුසේ සිටින ප්‍රාණියා ගැන විශාල වෛරයක් දැනෙන්නට පටන් ගති.....පව්කාරයෙක්..ඔව්...මම වගේම පවුකාරයෙක්..අම්මව මරාගන්න ආපු පවුකාර කාලකන්ණියෙක්......ඔහු මිට මොලවා බිත්තියට ගැසුවේ දරුවා කෙරෙහි සිතෙහි පැසවන්නට ගත් දැඩි තරහකිනි....

     පුතේ........ ඒ තාත්තාය.... ඔහු පැමිණියේ කොයි වෙලාවේද...?? ඈතින් උපුලිගේ පියාද සිටිනු ඔහු දුටුවේ ඒ මොහොතේය..ඔහු සිටියේ හඬමිනි....

     හදිස්සියේම ශල්‍යාගාර ඒකකයට ඇතුලු වන දොර පියන  විවර විය....

     ඉන් එළියට ආවේ වෛද්‍යවරයෙකි...පිරිස දෙස ඉක්මන් බැල්මක් හෙලූ ඔහු...ප්‍රසන්න දෙසට හැරුණේ..කතාකරන්නට සූදානමිනි...

     I think you are Mrs.Upuli Thennakoon's husband.....?? Mr.Prasanna Thennakoon..??

     Yes Doctor.......ඩොක්ටර් අනේ මගේ වයිෆ්ට කොහොමද...?? අනේ එයා හොඳින් නේද..??ඩොක්ටර් ප්ලීස් මට එයාව බේරලා දෙන්න...ප්ලීස්...

     මිස්ටර් තෙන්නකෝන් මට ටිකක් කතාකරන්න ඕනේ...Please follow me to my office......

     ප්‍රසන්න ඔහු පසුපස්සේ වැටුනේ අවසිහියෙන් මෙනි...දෙපා හිරිවැටී තිබුනෙන් අඩි ශබ්ධය මිසක එහි සංවේදනය ඔහුට නොදැනුණේය...

     කාර්‍යාලයට ඇතුල් වුණු වෛද්‍යවරයා ප්‍රසන්නට හිඳ ගන්නට අසුනක් පෑවේ බැරෑරුම් මුහුණෙනි..ප්‍රසන්නට අසුන් ගන්නට සැලැස්වුවද ඔහු හිඳගත්තේ නැත..ඒ වෙනුවට ඔහු කතාකරන්නට පටන් ගත්තේය....

     මිස්ටර් තෙන්නකෝන්..... ඔයාගෙ වයිෆ් ඉන්නෙ ක්‍රිටිකල් ස්ටේට් එකක..එයාව ඇඩ්මිට් කරපු ගමන් අපි ක්‍රියාත්මක වූනා..ඒ වුණත් ඒ වෙනකොටත් බබා එළියට එන්න උත්සහ කරන්න පටන් අරගෙන...ඔයාගෙ වයිෆ්ගෙ ගැබ්ගෙල තරමක් කුඩා නිසා බබාට සාමාන්‍ය විදිහට එළියට එන්න අමාරුයි.. ඇතුලින් ලේ ගැලීමකුත් සිද්ධවෙනවා.. අම්මයි බබයි දෙන්නම ඉන්නෙ ලොකු අවධානමක...මට ඔයාට පොරොන්දු වෙන්න බෑ අම්මගෙයි බබාගෙයි දෙන්නගෙම ජීවිත ගැන.. ඒත් අපට තියෙන හොඳම හෝප් එක තමයි සිසේරියන් සැත්කමකින් බබා එළියට ගන්න එක.. ඒත් දැනටම බබා තරමක් පහලට ඇවිත් නිසා...ඒකෙන් බබාගෙ ජීවිතේට හානියක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.....අඩුම ගානෙ අපට අම්මගෙ ජිවිතේවත් බේරගන්න පුලුවන් වේවි.....ඒත් මට ඒකට මිස්ටර් තෙන්නකෝන්ගෙ පර්මිශන් ඕනෙ..... 

     දෙවියනේ...මේ සිදුවුණේ කුමක්ද....??

     ඊලඟ මොහොතේ ප්‍රසන්න සිහිනයෙන් මෙන් කතාකරන්නට පටන් ගත්තේය...කමක් නෑ ඩොක්ටර්......අනේ කමක් නෑ ඩොක්ටර්..ඔහුගේ හඬ උස්ව නැගී එන්නට විය...මට ඒ පව්කාරයව එපා ...මට ඌව එපා...මට මගේ උපුලිව බේරලා දෙන්න ඩොක්ටර් ප්ලීස්....මං වගේ තව පවුකාරයෙක් මේ ලෝකෙට දෙන්න එපා ඩොක්ටර්.......මගේ වයිෆ්ව මට බේරලා දෙන්න....මට ඒ ඇති.........ඔහුගේ හඬ ක්‍රරමයෙන් විලාපයක් බවට පත් විණි....

     එහෙත් වෛද්‍යවරයා කතා කළේ සන්සුන් ස්වරයකිනි.....මිස්ටර් තෙන්නකෝන්ට මේ ඩිසිශන් එක ගැන සම්පූර්ණ විස්වාසද...??

     ප්‍රසන්නට තවත් හිතන්නට දෙයක් තිබුනේ නැත...තමා ,ඉපදෙද්දීම මවගේ ප්‍රාණය නිරුද්ධ කළ පවුකාරයෙකි....එවැනි තවත් අවාසනාවන්ත කාලකන්නි දරුවෙකු තනන්නට ඔහුට උවමනාවක් නැත...නුදුටු දරුවෙකුට වඩා ඔහුට වටින්නේ ඔහුට ජීවිතය දුන් බිරිඳගේ ජීවිතයයි...

     වෛද්‍යවරයා දුන් ලියකියවිලි වලට ඔහු සිය අත්සන තැබුවේ හදිස්සියෙනි..ගතවන මොහොතක් වුවද පමාවට හේතු විය හැක....

     වෛද්‍යවරයා යළිත් ශල්‍යාගාරයට නික්ම ගිය පසු ඔහු කොරිඩෝවේ තනි විය...ඈතින් මවත් පියවරුනුත් බලා සිටින්නෙ ඔහු එනතුරු බව ඔහු දනී..එහෙත් තමා එතනට ගොස් කියන්නේ මොනවාද...??

     කාලය යළිත් ඉබිගමනේ යන්නට පටන්ගත්තේය...

     මොකද පුතේ වුණේ...??

     ඩොක්ටර්ස්ලා ට්‍රයි කරනවා තාත්තේ......ප්‍රසන්න මදක් කල්පනා කළේය...........ඉන්පසු ඔහු තවත් කොටසක් එකතු කළේය......උපුලිව බේරගන්න........

     එතකොට දරුවා......???

     සීලිම දෙස බලා හූල්ලනු හැරෙන්නට ප්‍රසන්නගේ මුවින් පිළිතුරක් පිටවුණේ නැත....

     පැයකට පමණ පසු තියටරයේ දොරට ඉහලින් බල්බය නිවී ගියේය....මද වේලාවකින්...වෛද්‍යවරයා එළියට පැමිණියේ වෙහෙසකර මුහුණිනි.....

     ඩොක්ටර්.....??උපුලී....

     she is out of danger now...but......I'm very sorry about the baby....!!
ඔහු කීවේ පසුතැවිලි වන හඬකිනි...

     කුමක් කියන්නදැයි ප්‍රසන්නට නිනව්වක් නොවීය...ඔහු සිනා නොවුන මුත්...හදිසියේම සිනාසෙන්නට ඇති වූ ආශාව ගැන ඔහුට තමා ගැනම පුදුම සිතිණි....තම ලෙයින් නිමැවූ දරුවා අහිමිව ගොස් නොවේද......??එහෙත් උපුලීට කරදරයක් නැත......

     උපුලිගේ මවගේ දෑසින් කඳුලු වෑස්සෙනු ඔහු නිහඬවම බලා සිටියේය..ඇගේ සැමියා ඈව සනසමින් සිටියද ඔහුගේ දෑසේද කදූළුය....කොටින්ම තම පියාද හඬමින් සිටියේය....තමාට පමණක් කඳුලු නොගලන්නේ ඇයි....???

     ප්‍රසන්න තම බිරිඳගේ ඇඳ අසලින් සෙලවුණේවත් නැත....ඇගේ ජීවිතය බේරුණේ යාන්තමිනි.....උපුලිට සිහිය එන විට මධ්‍යම රාත්‍රියද පසුවී තිබිණි..... අමාරුවෙන් දෑස් හැරගත් ඇය වටපිට බලන්නට වූයේ තමා සිටින තැන හදුනාගන්නට මෙනි...

     ප්‍රසන්න වහා වෛද්‍යවරයා කැදවාගෙන ආවේ..සිහිය ලද වහාම එසේ කරන්නට උපදෙස් දී තිබූ හෙයිනි....උපුලිගේ තත්ත්වය නිරීක්ෂණය කළ වෛද්‍යවරයා ඇඳ ඉහපතේ යම් සටහන් කිහිපයක් යොදා ඉන්පසු හැරුණේ උපුලී වෙතටය...මේ වන විට ඇයට යාංතමින් කතා කරගත හැකි තරමේ ශක්තියක් ලැබී තිබිණි...

     උදරය වේදනාවකින් ඇදුම් කයි...ඈ අමාරුවෙන් හඬ අවදි කළේ එකම එක ප්‍රශ්නයක් අසන්නටය...

     ඩොක්ටර්....මගෙ පුතා.....???

     වෛද්‍යවරයා මදක් නිහඬව සිට සිය හඬ අවදි කළේය...ඔයාව ඇඩ්මිට් කරද්දි ඔයාගෙයි බබාගෙයි දෙන්නගෙම ජීවිතේ ලොකු අනතුරකයි තිබ්බෙ..වාසනාවට ඔයාගෙ මහත්තයාගෙ කැමැත්ත ඇතුව සැත්කමක් කළ නිසා අපිට ඔයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වුණා..ඒත් we are very sorry Mrs.Thennakoon..අපට ඔයාගෙ දරුවව බේරගන්න බැරි වුණා.....

     වෛද්‍යවරයා යන්නට ගියේය....පුදුමයකට මෙන් උපුලී හැඬුවේ නැත..ඇගේ දෑස් මලාණිකව අරමුණකින් තොරව හිස්ව ගොස් තිබිණි....ප්‍රසන්න ඇඳ අසල හිදගෙන ඇයට කතාකරමින් සිටියේ ය..... එහෙත් උපුලී කිසිවක්ම කීවේ නැත... ඇය සිටින්නේ කම්පනයෙන් විය යුතුය...දවස මුළුල්ලේම වරින් වර ඇගේ දෙතොල් පමනක් යාන්තමින් සෙලවිණි...

     හදිස්සියේම උපුලී ප්‍රසන්නගේ අතින් සිය අත ඉවතට ඇදගත්තාය... ඈ කොහේදෝ බලාගෙනම මුමුණන්නට විය.... ...ඉන්පසු ඈ හැරුණෙ ප්‍රසන්න දෙසටය...

     ඔහේ....ඔහේ...මගෙ දරුවව මරාගත්තා නේද...?? තමුසෙ...ඔව්...තමුසෙ.....තමුසෙට මාව තියාගන්න ඕනකමට..සම්පුරණයෙන්ම තමුසෙගෙම ආත්මාර්තකාමීකමට...තිරිසනෙක් වගේ  මගෙ දරුවව මරාගත්තා නේද.....??? මගෙ අහිංසකයා....මොකුත්ම නොදන්න අර අහිංසකයා...මරාගත්තා...මරාගත්තා...මිනීමරුවා...මිනීමරුවා......

     ප්‍රසන්න යළි ඇගේ අත ගැනීමට උත්සහ කළේය..... එහෙත් ඈ ඔහුව තල්ලු කර දැම්මාය... 

     එපා...එපා මාව අල්ලන්න...එපා...... මිනීමරුවා....

     පලයන් යන්න.....මට පේන්නවත් ඉන්න එපා..මට තමුසෙව දැක්කමත් පිළිකුල්....මගේ දරුවව මරාගත්තා....
මගෙ අහිංසකයා.....මරාගත්තා....උපුලී නොනව්ත්වාම දොඩවමින් සිටියාය.....ඇගේ දෑස වෛරයෙන් පිරී තිබිණි....

     උඋ.....උපුලී....මං කියන දේ.............

   මගෙ දෑහට නොපෙනි පලයන්............................!!!


     තමන්ට....කාලයේ ආපස්සට යා හැකිනම්....නිවැරදි කළයුත්තේ කොතැනදැයි.....ඔහු තවමත් නොදත්තේය.....


෴නිමි෴



(ප.ලි:  ප්‍රසන්න හෝ උපුලිගෙන් කවරෙකු වැරදිද නිවැරදිදැයි මා නොදනිමි...මා දන්නේ මෙවන් මිනිසුන් සමාජයේ වෙසෙන බව පමණකි..ඒ ගැන ඔබ වෙත අදහසක් වෙතොත් මෙහි නොපැකිළ සටහනක් තබා යනු මැනවි..ජීවිත බලාපොරොත්තු  වලින් පිරී තිබුණද..දෛවය ඇතැම් විටක උපුලිලා සහ ප්‍රසන්නලා වෙත ගෙන එන්නේ උමතුභාවයන් සහ ඛේදාන්තයන්ය..බොහෝ මිතුරන් මෙහි අවසානයේ සිනාවක් පැතූ බව දනිමි..මා ඔබේ බලාපොරොත්තු සුන්බුන් කළේනම් සමාවනු මැනවි..)


   ජීවිතය...
කුරිරුය නුඹ
එළි පිටම නොබියව
   හදවත බිඳින...
ආදරය 
සොඳුරුය නුඹ
හදවතට නොදැනෙන්න
   කැබළිති සිඳින...


   ෴මංචි෴



37 comments:

  1. දෙවියනේ,..
    අනේ මන්දා,, මෙතනදි අම්මා තාත්තා දෙන්නම වැරදි නෑ,. තමන්ගේ බිරිඳව බේරගන්න සැමියෙක්ට හිතෙන එක පුදුමයක් නෙවෙයි,. ඒ වගේම තමන් බලාපොරොත්තු තියාගත්ත තමන්ගේ දරුවා නැති වුනා කිව්වම අම්මට ඩුක හිතෙන එකත් පුදුමයක් නෙවෙයි,
    "තමන්ට....කාලයේ ආපස්සට යා හැකිනම්....නිවැරදි කළයුත්තේ කොතැනදැයි.....ඔහු තවමත් නොදත්තේය....."
    මට වුනත් ඔය වගේ දෙයක් වුනොත් අන්තිමේ හිතෙන්නේ ඒ දේම තමයි.

    ReplyDelete
  2. ලස්සන කතාව මන්චි නැන්දේ... හොදට ලියල තියනවා

    ප.ලි.
    මට හිතෙන්නේ දෙන්නම වැරදී... ප්‍රසන්න ළමයෙක හදන්න අකමැති වෙද්දී එකට හේතුව අහන්නේ නැතුව හිටියට උපුලි වැරදි.. තමන් ළමයෙක හදන්න අකමැති හේතුව උපුලිට නොකියපු එකට ප්‍රසන්න වැරදි... ඔය දෙකෙන් එකක්වත් උනානම් අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබ්බ...

    ReplyDelete
  3. දෙවතාවක්ම ගිනි පෑගීමි...!
    මම ප්‍රසන්න වුනානම් මම කරන්නේද ඔය දෙයමය...

    ReplyDelete
  4. හ්ම්ම්... අනේ මන්දා.. හස්බන්ඩ්ට වටින්නේ වයිෆ්ව තමා මටත් හිතෙන්නේ ඔය වගේ අවස්තාවක....

    ReplyDelete
  5. අනේ මංදා හිතාගන්න බෑ.. එත් ප්‍රසන්න වැරදි නෑ....

    ලස්සනට ලියලා තියන්ව පැංචි... නියමායි... ජය...!!!

    ReplyDelete
  6. මමත් මෙ අවසානෙට එකඟ නෑ. මේ දෙන්නා අවුරුදු ගාණක් ආදරය කරපු, විවාහ වෙලත් සෑහෙන්න කාලයක් ගෙවපු දෙන්නෙක් විධියට අවසානය මෙහෙම වෙන්න බෑ. මේ වගේ අවස්ථාවක් ගැන මේ දෙන්න කලින් කතා කරල තියෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

    නමුත් ඉතිං මේ මංචි ලියපු කතාවක් මිස මම ලියපු එකක් නෙවෙයිනෙ ඉතිං :D

    ReplyDelete
  7. අපොයි.......... අවසානේ සැර වැඩියි අක්කා......

    ප. ලි හැබැයි මා මෙහෙම දෙයක් දනිමි. මෙවන් අවස්ථා වලදී වෛද්‍යවරුද මවගේ ජීවිතයට හානිකර නම් මුල් තැන දෙනුයේ මව බේරා ගැනීමට මිස දරුවා බේරා ගැනීමට නොවේ. ඒ නිසා ප්‍රසන්න නොකිව්වද කෙරෙනුයේ මව බේරා ගැනීමයි.

    ප්‍රසන්නට සෑදීමට කිසිම වරදක් නැත. කල යුත්තේ උපුලීට ඇතිවූ මානසික තත්වයට බෙහෙත් කිරීම පමණි.

    ReplyDelete
  8. අනේ අම්මෝ..පුදුම කතාවක්...පිස්සු හැදෙනවා අක්කේ..
    කව්රුවත් වැරදි නෑ..ඒත් doctor ටිකක් ඉවසීමෙන් කතා කරා නම් ඕක වෙනස් වෙයිද???
    අනේ මන්ද..O.o

    ReplyDelete
  9. ඔන්න අද තමයි කොටස් 3ම කියෙව්වෙ...

    උපුලි කියන්නෙ මාර ඩයල් එකක්නෙ... මම ප්‍රසන්න වුනානම් මම කොරන්නෙත් ඕකම තමා...

    ReplyDelete
  10. @ප්‍රාර්ථනා:
    හ්ම්ම්....ස්තූතියි නගෝ පෝස්ට් එක දාපු ගමන් කියවන්න ආවට.. :)

    @MaRLaN :
    හෑ....මං කෝමෙයි නැන්දා වුණෙ...?? :O

    @තිස්ස දොඩන්ගොඩ :
    ජීවිතේ සමහරක් විට ලොකු ගිනිගොඩක්...

    ReplyDelete
  11. @හසී :
    ඒත් අම්මා කෙනෙක් දරුවව නැති වුණාම උමතු වුණු එකෙත් පුදුමයක් නැහැ නේද..?

    @හිතුවක්කාරි :
    තැන්කූ හිතුවක්කාරියේ.... :)

    @hare :-) :
    ඇත්තෙන්ම හරේ...එහෙම වෙන්න පුලුවන් නේද..දාපි මොන තරම් කිට්ටුවෙන් කෙනෙක්ට ආදරේ කරත් සමහර දේවල් ඒ කෙනාට කියාගන්න බැරි වෙන්න පුලුවන් නේද?? ඒකට හේතුව ඒ කෙනා තමන්ව වැරදියට තේරුම් ගනීවි කියන එක..තමන් මානසික රෝගියෙක් කියලා හිතයිද කියලා හිතන එක..සමහර විට තන්ට ඒක ලොකු දෙයක් වුණත් අනික් අයට ඒක ඉතාම සුලු දෙයක් කියල හිතෙයි කියන බය..තම්න් අඩරේ කරන කෙනා තමන්ව වැරදියට වටහාගත්තොත් එයත් තමන්ට නැති වේවි කියන බය...ඔන්න ඔය වගේ ගොඩක් දේවල්...

    ඇත්තෙන්ම මෙහෙම අවසානයක් දෙන්න මටත් හිතුනෙ ඊයේ කතාව ලියාගෙන යද්දියි...

    ස්තූතියි ගොඩාක් ඔයාගෙ අදහසට හරේ... ඒක මට ලොකු හයියක්..

    ReplyDelete
  12. @හා පැටික්කි (MS) :
    සැර වැඩි වුණත් නගේ මීටත් වඩා දරුණු අවසානයන් තියෙන කතන්දර අපේ ජීවිත වල සිද්ධ වෙනවනෙ නේද..??

    හ්ම්ම්..ඔව් වෛද්‍යවරයාට එහෙම තීරණයක් ගන්න වෙනවා තමයි..

    @ගිනි කුරුල්ලා :
    වෛද්‍යවරයෙක් විදිහට මේ තොරතුරු රෝගියාට දැනුම් දෙන එක එයාගෙ කාර්‍යභාරය යාළු..මොනතරම් සංවේදී අවස්ථාවක වුණත් යුතුකම ඉටුකරන්න වෛද්‍යවරයෙක් බැඳි ඉන්නවා...


    @සාතන් :
    තැන්කූ සාතන් වැඩ අස්සෙත් අපේ දිහා ආවට...

    මිනිස්සු විවිධාකාරයිනෙ ඉතින්... :)

    ReplyDelete
  13. ලස්සන කතාවක්. මේ වගේ සිදුවීම් අනන්තවත් වෙනවා ඇති. අපිට අහන්න දකින්න ලැබෙනවාටත් වඩා වැඩියෙන්. ඒ වගේම මේ වගේ දේකදි තමන්ගේ බිරිඳට, ලේලියට වඩා නූපන් දරුවා වටිනවා කියලා හිතන පිරිසකුත් ඇති. කොහොම උනත් මම ප්‍රසන්නගේ හැඟීම් වලට ගොඩක් ගෞරව කරනවා. (එයාගෙ බිරිඳ වෙනුවෙන් හිතපු විදිහ ගැන.)

    ReplyDelete
  14. මන්දා... මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ... කතාව කියවලා දේව්දාස් ටික වේලාවක් මේ දිහාම බලාගෙනම ඉඳලා කියල පස්සෙයි තේරුනේ... කතාව නම් හොඳයි කියන එකේ උපරිම වචනේ...

    දේව්දාස්...

    ReplyDelete
  15. ඕක මීට කාලෙකට කලින් මගෙත් හිතේ ඇඳුන කතාවක්. කවද හරි මම ඔය වගේ දේකට මූන දුන්නත් කිසි කතාවක් නැතුව මම තෝර ගන්නෙ මගේ බිරිඳව. මට නම් ඒකෙ හිතන්නවත් දෙයක් නෑ.

    අවසානයට නම් මාත් කැමති නෑ. ඒත් ඉතින් එහෙම දෙයක් උනත් වෙන්න පුලුවන් නේද?

    ReplyDelete
  16. හරිම සංවේදි , එත් යථාර්ථ ලෝකයේ , අපි දකින සිදුවිමක් , හරිම ලස්සනට පද ගෙත්තම කරලා තිබෙනවා ...

    ReplyDelete
  17. හ්ම්....අවසානය පොඩ්ඩක් දුකයි තමයි.ඒත් ඉති‍‍න් ඕනෑම ස්වාමිපුරුෂයෙක් කරන්නේ ඕක තමයි.මෙච්චර කාලයක් එකට හිටිය කෙනාව අතාරින්නේ නෑ නේ තාම දෑකලවත් නැති, ඉපදිලත් නැති කෙනෙක් වෙනුවෙන්. ඒත් උපුලිට වෑරැද්දක් කියන්නත් බෑ.එයා බොහොම ආදරයෙන් බලාගෙන හිටපු දරු පෑටියානේ.එයාට එක පාරටම කමපනය දරාගන්න බැරි වෙන්න ඈති.

    ReplyDelete
  18. ඔයා හරේ ට දීලා තියෙන ප්‍රතිඋත්තරේට මම සම්පූර්නයෙන්ම එකඟයි.ඒක දැක්කේ පස්සෙනේ...

    ReplyDelete
  19. @හංසි :
    ඇත්තෙන්ම...ඒ අතින් නම් ප්‍රසන්නට ගෞරව කරන්නම වටිනවා තමයි..

    @දේව්දාස් :
    ගොඩාක් ස්තූතියි දේව්දාස්..ඇත්තෙන්ම මේ මම මගේ ජීවිතේ ලියාපු පළවෙනිම ප්‍රභන්ධය..ඉතින් ඔයාලගෙ අදහස් හරි වටිනවා..

    @Kasun :
    හ්ම්ම්..හරි වැරැද්ද හොයන එක හරි අමාරුයි..

    ReplyDelete
  20. @මහේෂ් නිශාන්ත :
    ස්තූතියි මහේෂ් මහතානෙනි.... හැමදාම සුන්දර කතාම අපේ ජීවිතේට එක්වෙන්නෙ නැහැනෙ නේද..

    @නිසූපා :
    ඔව්..දෙන්නටම වරදක් කියන්නත් බෑ...අනුකම්පාවෙන් ඒ දිහා බලනවා මිසක...

    තැන්කූ යාලු මගේ උත්තරේටත් පැසසුමක් දුන්නට.. :)

    ReplyDelete
  21. කතාව නම් අන්තිමේට දුකයි.
    ඒත් මෙහෙම අවසානයක් නම් බලාපොරොත්තු උනේම නෑ. කොහොමද ලේඛිකාවගේ දක්ශතාවය !!!!!
    මාව නිකන් කරකවලා තෑරියා වගේ. අන්න ලියන්න හොද ස්ටයිල් එකක් !!!!
    වෙල් ඩන් නංගි. කතාව සුපිරි. මාර දුකයි අප්පා

    ReplyDelete
  22. වැඩක් ඇති දෙයක් ඇති කියල මෙහෙට ආවා.මදැයි.මේකත් දැන් සම්යමක් වෙලා.මල් පත්තරයක් වගෙ :/

    ReplyDelete
  23. @මධුරංග :
    ස්තූතියි අයියණ්ඩී විබාගෙ අස්සෙත් මෙහේ ඇවිදින් කියවලා මාව අගය කළාට... ඔයාගෙ කොමෙන්ටුව හැමදාම මගේ හිතට ගෙනාවෙ ශක්තියක්.. :) ස්තූතියි ආයෙමත්...

    @Ano :
    මකුළු පැංචිගෙ බ්ලොගේට ලැබුණු පළවෙනි ඇනෝ කොමෙන්ටුව දාපු ඔයාටත් බොහෝම ස්තූතියි..මම කණගාටු වෙනවා ඔයාගෙ කාලෙ නාස්ති වුණානම්.. කොහොම වුණත් මීට පස්සෙ පෝස්ටුව කියවනකොටම මල් පත්තරයක් වගේ හැඟෙනවනම් වැඩිදුර නොකියවා ඉන්නකෝ.. හැබැයි ඔයා මල් පත්තර කියවලා නං නැති හැඩයි..මොකද මල් පත්තර වල තියෙන්නෙ පාට පාට හීන ලෝක මිසක් සැබෑ ලෝකේ ඇත්තටම වෙන දේවල් නෙවෙයිනෙ..හිකිස්...කොහොම වුනත් තැන්ක්ස් හොඳේ කොමෙන්ටුවට... :D

    ReplyDelete
  24. කතාව කියවලා ගොඩාක් කල්පනා කළා. ඇත්තටම මෙහෙම දෙයක් උනොත් මොනවා වෙයිද? මට තාමත් හිතා ගන්න බෑ

    ReplyDelete
  25. හ්ම්....

    කතා සැට් එකම කියෙව්වා... ඒත් කොහොමද මංචියෝ මං මේකට කමෙන්​ට් කරන්නේ? ඇයි දෙයියෙනේ මගේ නමම කතාවට දැම්මේ...

    ReplyDelete
  26. හ්ම්ම්! මේක කියවල කල්පනා කර කර ඉන්නකොට තමා මට අද බස් එකේ දැකපු දෙයක් මතක් උනේ. බස් ඒකට නැග්ග පුංචි දරුවෙක් වඩාගත්තු ගෑනු කෙනෙක්, විරිදුවක් හෙම කියල තමා එයා සල්ලි ඉල්ලුවේ. ඒ මුළු විරිදුවම නම් මට මතක නෑ. හැබැයි එකේ සංක්ෂිප්තය තමා මේ වගේ පව්කාර දරුවෝ තව ඉපදෙන්නනම් එපා, මේ පව්කාරයා ජීවත් කරන්න මට කීයක් හරි දෙන්න කියන එක. (ඒ ඇත්තටම දරුවාගේ අම්ම නම්) අම්මගේ හිතේ දරුවා ගැන තිබ්බ පුපුරුගහන තරහව මුළු විරිදුවේම ගැබ්වෙලා තිබුන. ප්‍රසන්නගේ හිතේ දරුවා ගැන තිබ්බ හැගීම ඒකට 100% ක්ම සමානයි කියල තමා මට හිතෙන්නේ . (තමන්ගේ දරුවට පව්කාරයා කියන අම්මලත් ඉන්නවනේ කියල මුලදී හිතුනට පස්සේ තමා මතක් උනේ අලුත උපන් දරුවෝ මරන අම්මල අතරේ ඔහොම හිඟා කාල හරි දරුවාව ජීවත් කරන එක කොච්චර දෙයක්ද කියල!)
    මුළු කතාව ගැනම කියනවනම් මම ලඟදි කියෙව්ව සංවේදී කතා වලින් එකක්! "තමන්ට....කාලයේ ආපස්සට යා හැකිනම්....නිවැරදි කළයුත්තේ කොතැනදැයි.....ඔහු තවමත් නොදත්තේය....." මමත් තවම මෙම පැනයට පිළිතුරක් සොයන්නෙමි! :D

    ReplyDelete
  27. @අම්බලම :
    ස්තූතියි යාළු මේ පැත්තෙ ආවට..අපෝ මෙහෙම දෙයක් හතුරෙක්ටවත් වෙන්න එපා.. :(

    @Prasanna :
    තැන්කූ මුලු සෙට් එකම කියවන්න ඔයාගෙ කාලයෙන් මොහොතක් වෙන් කළාට.ටානේ ඒ නම හිතට ආපු නිසා ඔහේ ලියැවුනා මිසක් විශේෂයෙන් නම් දැම්මෙ නෑ..අනික ප්‍රසන්නලා හැමෝමටම මෙහෙම කරදර වෙන්නෙ නැහැනෙ නේද...?? :)

    @Nuwi :
    ඔයාගෙ කතාව එක්ක මම 100%ක්ම එකඟයි නුවී..එහෙම දෙමාපියන්ගෙ දරුවො වෙන්නත් ඒ දරුවනුත් සසරේ පව් කරලා..ප්‍රසන්න නම් තමන්ගෙ දරුවට පවුකාරයා කියන්නෙ හැබැයි..අම්මට කරදරයක් කරගෙන ඉපදෙන නිසාම නෙවෙයි..අම්මෙක්ගෙ ආදරේ උපතින්ම අහිමි වීමත් දරුවෙක්ගෙ පවට සිද්ද වෙන දෙයක් නිසා වෙන්න ඕනේ... :((

    ප්‍රසන්නගෙ අවසන් ප්‍රශ්ණයට පිළිතුරක් නම් මමත් දන්නෙ නැහැ.. :(

    ReplyDelete
  28. අනේ අක්කේ..කතාවනම් ඇත්තටම දුකයි...එත් මෙතැනදී මේ දෙන්නම වැරදියි..මන් දැක්කා කලින් කවුරු හරි ඒ ගැන කියල තියනවා....ප්‍රසන්න දරුවෝ හදන්න අකමැති ඇයි කියල උපුලිට ටිකක් හොයල බලන්න තිබුණා....එහෙම හොයල බලල එකට ප්‍රතිකාර කරා නම් ඒ වගේ සිතුවිල්ලක් ප්‍රසන්නට නොඑන්න තිබුණා....ඒ වගේම ප්‍රසන්න ඒ වෙලාවේ ගත්ත තීරණේ හරියටම හරි...එක උපුලිට වැරදි උනේ එයා ඒ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු නිසා....ලොකුම ලොකු බලාපොරොත්තුවක් බින්දුනම මානසිකව වැටෙන්න පුළුවන් උපුලිට වගේ...ඒ වෙලාවට කරන්න ඕන එයාගේ මානසික පැත්ත සනීප කරගන්න එක....ඔයා කිවා වගේ මේ දේ හෙට අපි කාට හරි වෙන්නත් පුළුවන්

    ReplyDelete
  29. මකුළු පැංචි,
    ඔයාගෙ ලිවීමේ ශෛලිය නම් නියමයි. මායි බිරිඳයි දෙන්නම ඔයාගෙ කතාව සම්පූර්ණයෙන් කියෙව්වා. එයත් මාත් එක්ක එකඟ වෙනවා. තව දෙයක්. ප්‍රසන්නට වුනේ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැ‍ටුනා වගෙ වැඩක් නේද?
    ඒ තීරණය ගැනීම ගැන ප්‍රසන්නට දොස් කියන්න බැහැ. නොදන්නා පොඩි එකෙක් සහ ජීවන සහකාරිය අතරින් එක් කෙනෙක් ‍තෝරා ගන්න සිදුවුනාම, වෙන මොන තීරණයද ගන්නෙ?
    henryblogwalker aka Dude

    ReplyDelete
  30. අම්මෝ.මම හිතුවෙ නෑ මෙහෙම දෙයක් අන්තිමට වෙයි කියලා.උපුලිට දරාගන්න බෑරි වෙන්නෑති සිද්ද උන දේ.ඔහොම දෙයක් උනාම අම්මට ටිකක් හිත අප්සට් වෙනවා.ඒත් ඔය වගේ ඒවා සනිප කරන්න පුලුවන් නෙ.

    ReplyDelete
  31. @සිතුවිලි නිහඬයි :
    ඔව් ඔයා කියන දේත් ඇත්ත තමා සිනී...තැන්කූ ඇවිදින් මගේ කතන්දරේ කියෙව්වට හොඳේ>> :)

    @Dude :
    තෑන්ක්ස් dude..ඒ වගේම ආන්ටිටත් තෑන්ක් කලා කියන්න.. :)) මේ මගේ පළවෙනි ප්‍රභන්ධය ඒ නිසා මේ අදහස් හරි වටිනවා.. :)

    @හිම හංසි :
    මෙහෙම දෙයක් වුනාම ටිකක් නෙවෙයිනෙ හිම හංසි...ගොඩක්ම මානසිකව වැටෙනවා අම්මා කෙනෙක්....

    ReplyDelete
  32. හ්ම්...මකුලු පැංචිත් රෝහලේ ජීවිතේ ගෙවන කෙනෙක්දෝයි හිතෙනව. කොහොම නමුත්, කොච්චර සංවේදී කතාවක්ද?

    ReplyDelete
  33. මම හිතන්නෙ සැමියෙකු විදියට ඔහු ගත් තීරණය හරි, දරුවෙකු නැවත වරක් පිලිසිඳ ගැනීමට අවස්ථාවක් ඇති වුවද බිරිඳක් එසේ නොවේ ..

    සංවේදීව ලියලා තියනවා ........

    ReplyDelete
  34. සමකාලින සමාජ ආනුභුතියක් බොහොම සියුම්ව මොනවට ගෙනහර දක්වන්න මංචි බොහොම ප්‍රසංශනීය උත්සහයක් අරන් තියනවා. අගෙයි මන්චියො....... :))
    *කතාව ගැන කියනවා නම් මෙ සිරියත් ප්‍රසන්න ගෙ තිරණය සමග එකගයි . නොදැකපු දරුවාට වඩා බිරිදගෙ ජිවිතයට අවස්ථානුකුව වැඩි වටිනාකමක් දිය යුතු බවයි සිරියගෙත් හැඟිම. එයින් මා කිසිලෙසකින්වත් දරුවගෙ ජිවිත වටිනාකම පහල දැමිමට සිතන් නැ. අවැසි නම් බිරිඳ යහපත් සෞඛ‍ය තත්වයෙන් සිටි නම් තවත් දරුවකු බලාපොරොත්තු විමටද හැකිය. කෙසෙ හො වෙවා මෙ සිරියා,ප්‍රසන්නගෙ තිරනය සමග එකතු වුවද ඔහුගෙ සිතින් ගිලිහුන දවරුවා පිලිබද ආකල්පයට මා කිසි ලෙසකින්වත් එකඟ නොවෙමි .

    ReplyDelete
  35. @ඉන්දික :
    ඔබ හරි ඉන්දික සහෝ..මගෙත් බලාපොරොත්තුව රෝහලේ ජීවිතේ ගෙවන්න තමා.. හැබැයි දැනටනං ඒකට ඉගෙන ගන්න එකයි කරන්නෙ...ස්තූතියි අගය කිරීමට..

    @පන්සල් හංදිය :
    බොහොම ස්තූතියි අයියේ.. :)

    @සිරි කොලුවා :
    හෙහ් හෙහ්...සිරි අයියගෙ කොමෙන්ටුව දැක්කම මට මතක් වුණේ ඉස්කෝලෙදි රචනා ලීව හැටි..ඉස්සර මංචි රචනා ලියන්නත් හමනී..ඒ වෙලාවට සිංහල ටීචරුත් ඔය වාගේ වර්ණනා කරනවා.. ඔයාගෙ කොමෙන්ටුවෙනුත් මම ඒ දවස් වල ලැබුවා වගේම සතුටක් ලැබුවා..ස්තූතීයි.. :)))

    ReplyDelete
  36. පට්ට කතාව.. ඇහ්.... ඇඬෙනව...

    ReplyDelete
  37. වැරැද්ද තියෙන්නේ මනුස්ස ආකල්ප වෙල. ගැහැනියෙක් ට ලමෙක් නැත්නම් "ඒකි වද ගෑහෑනියක්"... එක්කෝ "පිරිමියා වද පිරිමියෙක්.." ඌඅවයි මුලින්ම් අහ්දන්න ඕනෙ,,,

    ජය..

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...